Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 5 කට පසුව දියතලාව නරියාකන්ද දෙදරයි

වසර 5 කට පසුව දියතලාව නරියාකන්ද දෙදරයි

editorial - 2024 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය එක්ව 28 වැනි වරට සංවිධානය කරන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලිය මේ මස 21 වැනිදා උදෑසන 8.30 සිට දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. දිවයිනේ ප්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වසර 5 කට පසුවය. 

1993 වසරේ සිට වසර 27 ක් පුරා නොකඩවා පැවැති මෙම තරගාවලිය රට තුළ පැවැති කොරෝනා වසංගත තත්වය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය වසර හතරේදීම (2020, 2021, 2022 සහ 2023) දින නියමයකින් වරින් වර තොරව කල් දැමුණ අතර පසුව අවලංගු කර දැමිණ. 

අවසන් වරට (2019) පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදු වූ අතර තරගාවලිය නතර කරන විට ඊට ඇතුළත්ව තිබූ තරග ඉසව් 24 න් නිමාවට පත්ව තිබුණේ ඉසව් 17 ක් පමණි. එබැවින් එහිදී දක්ෂතම මෝටර් රථ රියදුරා හෝ දක්ෂතම යතුරුපැදිකරුවා සඳහා කුසලාන ප්‍රදානයක් සිදු නොකෙරිණ. 

එම තරගාවලියද ඇතුළුව ඉන් පෙර වසර කිහිපයේදීම මෝටර් රථ ක්‍රීඩා සංගමයට අයත් අනු සංගම් සහ ක්‍රීඩා සමාජ සියල්ල එක්ව මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූ අතර එය සංවිධානය කරනු ලැබුවේ දියතලාව, යුද හමුදා විද්‍යා පීඨය විසිනි. මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහාද අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 10 ම සම්බන්ධව සිටීමද සුවිශේෂී සිදුවීමකි. 

දක්ෂතම මෝටර් රථ රියදුරා තෝරාගනු ලබන ඉසව් 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන ඉසව් 2 ද සමග, මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 12 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඒ සඳහා සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 270 කට ආසන්න බව සංවිධායකයෝ පවසති. 

අවසන් වරට (2018) පැවැති නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ අශාන් සිල්වා, මේ වසරේදීත් සිය ශූරතාව රැකගැනීම අරමුණින් තරගාවලියට සහභාගි වෙයි. එහිදී ඔහුට අභියෝග කරන ක්‍රීඩකයන් අතර උෂාන් පෙරේරා, අරවින්ද ප්‍රේමදාස, ජනක ඩයස් සහ ඉෂ්රාක් වහබ් පෙරමුණේ පසුවෙති. 

එදා මෙදා තුර නරියාකන්ද සුපර් ක්‍රොස් ඉතිහාසයේ වැඩිම වාර සංඛ්‍යාවක් දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයට හිමිකම් කියා ඇති ක්‍රීඩකයා ලෙස අරවින්ද (10 වරක්) හැදින්විය හැකිය. අශාන් මේ දක්වා අවස්ථා 4 කදී (2013, 2015, 2017 සහ 2018) මෙම තරගාවලියේ දක්ෂම මෝටර් රථ රියැදුරා සම්මානය දිනා සිටින අතර උෂාන්, ජනක හෝ ඉෂ්රාක් තවමත් එක් වරක් හෝ එම සම්මානයට හිමිකම් කීමට සමත්ව නැත. 

පිට පිටම තෙවරක් (2016, 2017 සහ 2018) නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටින ඉෂාන් දසනායක, මේ වන විට විදෙස්ගතව සිටින බැවින් මෙවර තරගාවලියට සහභාගි නොවේ. එබැවින් මෙවර තරගාවලියේ යතුරුපැදි ශූරතාව සෙසු ක්‍රීඩකයන් සඳහා විවෘතව පවතී. 

එම ශූරතාව ඩැහැගැනීමට මාන බලමින් සිටින ක්‍රීඩකයන් අතර ජාක් ගුණවර්ධන ඉදිරියෙන්ම සිටින අතර ඒ සඳහා ඔහුට ශානුක සඳරුවන් සහ ළහිරු ජීවන්ත වැනි ප්‍රවීනයන් මෙන්ම කේසර ගොඩගේ සහ ඩී.එම්.ඩී. කල්හාර වැනි නැඟී එන යොවුන් ක්‍රීඩකයන් සමගද කරට කර තරගයක නිරත වීමට සිදුවනු ඇත. 

මෙවර තරගාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයට රුපියල් ලක්ෂ 200 කට වැඩි මුදලක් අනුග්‍රාහකයන් මගින් සොයාදීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය කටයුතු කළ බවත්, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සපයාදීම මගින් සහය දුන් බවත් මෝටර් රථ ක්‍රීඩා සංගමයේ සහභාපති අෂ්හර් හමීම් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඒෂියන් පේන්ට්ස් සමාගම කටයුතු කරන අතර ප්‍රීමා, මොබිල්, එක්සයිඞ්, රයිනෝ, ටී.වී.එස්., කැන්ඩොස්, චෙලෝ, හිල්ටන් සහ මෙල්වා වැනි සමාගම් සහ ආයතන මෙන්ම ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එහි සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි. 


අදහස් (0)

වසර 5 කට පසුව දියතලාව නරියාකන්ද දෙදරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.