
වසර 15 කට ආසන්න කාලයක් පුරා ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමේ පිපාසයකින් පෙළුණු එංගලන්තයට දිය දෝතකින් සංග්‍රහ කිරීමට බෙන් ස්ටෝක් ප්රමුඛ කණ්ඩායම අද (27 වැනිදා) සමත් විය. ඒ දෙරට අතර පැවැති බොක්සිං දින අළු බඳුන ටෙස්ට් තරගය කඩුලු 4 කින් ජයගැනීමත් සමගය.
තරග 3-0 ක් ලෙස මෙවර අළු බඳුන තරගාවලිය පරාජයට පත්වුව සිටි නමුත්, පළමු දිනයේදී 94,000 ක්ද, දෙවැනි දිනයේදී 92,000 ක්ද ඉක්මවූ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ලැබූ එම වාර්තාගත ජය එංගලන්තයට සැනසුම් සුසුමක් බඳුවිය. ඒ එංගලන්ත කණ්ඩායමක් 2011 වසරේ ජනවාරි මාසයෙන් පසුව ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් ලබා නොතිබීම හේතුවෙනි.
පසුගිය වසර 15 ඇතුළත ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 18 න් 16 කදීම පරාජයට පත්ව සිටි එංගලන්තය කණ්ඩායමට ජය පරාජයෙන් තොරව අවසන් කරගත හැකිව තිබුණේද තරග 2 ක් පමණි. එබැවින් අතිෂය කාර්යබහුල වූ දින දෙකක් තුළ ලැබූ මෙම ජයග්‍රහණයත් සමග එංගලන්ත ක්‍රීඩකයන්ට දිගින් දිගටම මුහුණදෙමින් සිටි පරාජයන් වැලට තිත තැබීමට අවස්ථාව උදා විය.
පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 152 කටත්, එංගලන්ත පළමු ඉනිම ලකුණු 110 කටත් සීමා වීමත් සමග මෙම ටෙස්ට් තරගය දින 2 කට හෝ 3 කට සීමා වනු ඇතැයි බොහෝ ක්‍රීඩා විචාරකයෝ මත පළ කළහ. එම මත සනාථ කරමින් දෙවැනි දිනය නිමාවීමට ඕවර 25 ක් පමණ ඉතිරිව තිබියදීම තරගය අවසන් කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
අද දිනයේදී ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමද ලකුණු 132 කට සීමා කළ එංගලන්ත ක්‍රීඩකයෝ, තරගය නිමා වීමට තවත් දින තුනහමාරයක කාලයක් ඉතිරිව තිබුණද ජයග්‍රහණය සඳහා ඔවුන්ට හිමිවූ ලකුණු 175 ක ඉලක්කය හඹා යෑම සඳහා ආරක්ෂාකාරී පිළිවෙත් පසෙකලා ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඕවර 32.2 ක් ඇතුළත කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට ඔවුනට හැකි වූහ.
ආරම්භක පිතිකරුවන් වූ සැක් ක්රෙව්ලි පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද, බෙන් ඩකට් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද, ජෙකොබ් බෙතෙල් පන්දු 46 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක්ද, හැරී බෘක් පන්දු 22 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 18 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
පළමු ඉනිමේදී එංගලන්ත පිතිකරුවන් ලකුණු 110 කට සීමා කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වූ මිචෙල් ස්ටාක්ගෙන් ඕවර 10 කදී ලකුණු 55 ක්ද, මයිකල් නේසර්ගෙන් ඕවර 8 කදී ලකුණු 54 ක්ද, ස්කොට් බෝලන්ඩ්ගෙන් ඕවර 9 කදී ලකුණු 29 ක්ද දෙවැනි ඉනිමේදී උදුරා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. ඕස්ට්‍රේලියානු ඉනිම් දෙකේදී කඩුලු 7 ක් බිඳහෙළූ ජොෂ් ටන්ග් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 152
(උස්මන් කවාජා 29, ඇලෙක්ස් කේරි 20, කැමරන් ග්‍රීන් 17, මයිකල් නේසර් 35, ජොෂ් ටන්ග් 45/5, ගස් ඇට්කින්සන් 28/2)
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 110
(හැරී බෘක් 41, බෙන් ස්ටොක්ස් 16, ගස් ඇට්කින්සන් 28, මයිකල් නේසර් 45/4, ස්කොට් බෝලන්ඩ් 30/3, මිචෙල් ස්ටාක් 23/2)
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 132
(ට්රවීස් හෙඩ් 46, ස්ටීවන් ස්මිත් නොදැවී 24, කැමරන් ග්‍රීන් 19, බ්‍රයිඩන් කර්ස් 34/4, බෙන් ස්ටොක්ස් 24/3, ජොෂ් ටන්ග් 44/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 178
(සැක් ක්රෙව්ලි 37, බෙන් ඩකට් 34, ජෙකොබ් බෙතෙල් 40, ජෝ රූට් 15, හැරී බෘක් නොදැවී 18, ජේ රිචඩ්සන් 22/2, ස්කොට් බෝලන්ඩ් 29/2, මිචෙල් ස්ටාක් 55/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.