Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය

වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය

editorial - 2021 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2003 වසරේදී අන්තර් ප්‍රාන්ත තරගාවලියක් ලෙස පළමු වරට සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් තරග මේ වන විට මුලු මහත් ලෝකයා  විසින්ම වැළදගෙන හමාරය. ටෙස්ට් සහ එක්දින තරගවලට වඩා වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගත් විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව වසර 15 ක් තුළ රටවල් 86 අතර ව්‍යාපත්ව වී තිබේ.

එංගලන්තයේ පැවැති ‘බෙන්සන් ඇන්ඩ් හෙජස්‘ කුසලාන එක්දින තරගවලිය 2002 වසරේදී නතර කර දැමීමත් සමග එහි හිදැස පිරවීම සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට තවත් සීමිත ඕවර තරගාවලියක අවශ්‍යතාව මතුවිය. ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පැවැති ප්‍රේක්ෂකයන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ උනන්දුව යළිත් ඉහළ නැංවීම කෙරෙහි ඔවුහු වැඩි අවධානයක් යොමු කළහ.

ටෙස්ට් සහ එක්දින වැනි වැඩි කාලයක් වැය වන ආකෘතීන් නිසා යම් පසුබෑමකට ලක්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්, යළිත් ක්‍රීඩාංගණ තුළට කැඳවාගැනීම සඳහා උනන්දු කරවන ආකාරයේ වේගවත් සහ ආකර්ෂණීය ආකෘතියක් බිහිකිරීම ඔවුන්ගේ අරමුණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අලෙවි කලමණාකරු ස්ටුවට් රොබින්සන් මහතා එක් ඉනිමක් ඕවර 20 කට සීමා වූ නව ආකෘතියක් පිළිබද යෝජනාවක් ප්‍රාන්ත සභාපතිවරුන්ට ඉදිරිපත් කළ අතර එය 11-7 ක වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඒ අනුව 2003 වසරේ ජූනි මස 13 වැනිදා පළමු විස්සයි20 තරගය පැවැති අතර එහිදී එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් වන සරේ ලයන්ස් පිල සහ වොවික්ෂයර් බෙයාර්ස් පිල තරග වැදිණ. එම තරගයෙන් වොවික්ෂයර් බෙයාර්ස් පිල පරදවා කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සරේ ලයන්ස් පිල සමත් විය.

2004 වසරේ ජූලි 15 වැනිදා සරේ ප්‍රාන්තය සහ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 තරගය නැරඹීම සඳහා 27,509 ක ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වූහ. එය වසර 51 ක කාලයකට පසුව, එක්දින අවසන් මහ තරගයක් නැරඹීමට පැමිණි පිරිස හැර, වෙනත් ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවද ලෙසද වාර්තා විය.  

ක්‍රම ක්‍රමයෙන් මෙම ආකෘතිය ලොව පුරා ප්‍රචලිත වූ අතර 2004 වසරේ අග භාගයේදී කණ්ඩායම් 13 ක සහභාගීත්වයෙන් පාකිස්ථානයේදී පැවැති විස්සයි20 තරගවලියේ ශුරතාව දිනාගැනීමට ෆයිසලාබාද් වුල්ව්ස් කණ්ඩායම සමත් විය. ඉන් අනතුරුව 2005 වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගණයේදී වෙස්ටන් වෝරියස් සහ වික්ටෝරියන් බුෂ්රේන්ජර්ස් කණ්ඩායම් අතර පැවැති තරගය නැරඹීම සඳහා 20,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වූහ.

2006 වසරේ ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි කළාප අතර ‘ස්ටැන්ෆෝඩ්‘ නමින් විස්සයි20 තරගාවලියක් පැවැති අතර අවසන් මහ තරගයේදී ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කරමින් ගයනා කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනාගත්තේය. ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ගයානා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවිය.

මේ අතර 2004 වසරේ අගෝස්තු මාසයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු ජාත්‍යන්තර විස්සයි20 තරගය පැවැත්විණ. එහිදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පළමු විස්සයි20 ජාත්‍යන්තර ජයග්‍රහණයට හිමිකම් කීහ.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය පැවැතියේ 2005 වසරේ පෙබරවාරි මස 17 වැනිදා ඕක්ලන්ඩ්හි ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදීය. 1980 දශකයේදී එම කණ්ඩායම් භාවිතා කළ නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් පැලඳ ඔවුහු පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කළහ. එම තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූ අතර එහිදී පන්දු 55 කින් වේගවත් ලකුණු 98 ක් රැස්කළ රිකි පොන්ටින් තරගයේ වීරයා බවට පත් විය.  

එතැන් පටන් ටෙස්ට් වරම් හිමි රටවල් අතර ජාත්‍යන්තර වශයෙන් විස්සයි20 තරග පැවැති අතර එම ආකෘතිය වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කළ පළමු ලෝක කුසලාන තරගාවලිය පැවැතියේ 2007 වසරේදීය. දකුණු අප්‍රිකාවේදී පැවැති එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේ ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදීන් ලෙස සැලකෙන පාකිස්තානයට එරෙහිව අවසන් මහ තරගයේදී ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කරමිනි.

ඉන් අනතුරුව ලොව පූරා පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් අතර විස්සයි20 ලීග් තරගාවලි ආරම්භ විය. 2008 වසරේදී ආරම්භ වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එහි පළමු වෙඩිමුරය බවට පත්විය. ඉන් අනතුරුව බිග් බෑෂ් තරගාවලිය (ඕස්ට්‍රේලියාව), කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය (බටහිර ඉන්දීය කොදෙව්), විස්සයි20 බ්ලාස්ට් තරගාවලිය (එංගලන්තය), බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය, පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය, ඇෆ්ගන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි තරගාවලි රාශියක් බිහිවිය.


(සැකසුම - ශානුක අරවින්ද)

 


අදහස් (0)

වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.