Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ස්ටපන් ජයග්‍රහණයත් හැමිල්ටන් පරතරයත් සොයයි

වර්ස්ටපන් ජයග්‍රහණයත් හැමිල්ටන් පරතරයත් සොයයි

editorial - 2021 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලුවිස් හැමිල්ටන්....

(සැකසුම – ශානුක අරවින්ද)

මෙම වසරේ 12 වැනි ෆෝමියුලා-I තරගය ලෙස මෙම සති අන්තයේදී පැවැත්වෙන බෙල්ජියම් ගෝන් ප්‍රී තරගයේදී නැවතත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට රෙඩ්බුල් රේසිං - හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සූදානමින් සිටී. මේ අතර තමන් සහ වර්ස්ටපන් අතර පවතින ලකුණු පරතරය වැඩි කරගැනීමට මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සූදානමින් සිටියි.

බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය හෙට (29 වැනිදා) ස්පා-ෆ්‍රැන්කෝචෑම්ප් ධාවන පථයේදී පැවැත්වෙයි.

මෙතෙක් පැවැති තරග 11 න් 4 ක් ජය ගැනීමට සහ තවත් තරග 4 ක දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන්, මේ වන විට ලකුණු 195 ක් ලබා ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවේ. එහි දෙවැනි ස්ථානයේ රැදී සිටින බෙල්ජියම් ජාතික වර්ස්ටපන්, තරග 5 ක් ජයගනිමින් සහ 3 ක‍ දෙවැනි ස්ථාන හිමිකර ගනිමින් ලකුණු 187 ක් ලබා හැමිල්ටන්ට වඩා ලකුණු 7 ක් පසුපසින් සිටියි.

ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගයෙන් පසුව දිගින් දිගටම වර්ස්ටපන් හමුවේ පසුබෑමකට ලක්වූ හැමිල්ටන් යළිත් ජය මාවතට අවතීර්ණ වූයේ සිය මව් රට වූ බ්‍රිතාන්‍යයේදී පැවැති ගෝන් ප්‍රී තරගයේදීය. අවසන් වරට පැවැති ගෝන් ප්‍රී තරග දෙකේදීම අසාර්ථක වූ වර්ස්ටපන්ද සිය මවු බිම වන බෙල්ජියමේදී පැවැත්වෙන මෙම තරගයේදී යළිත් ජය මාවතට අවතීර්ණ වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.

පසුගිය වසර 4 ද ඇතුළත්ව 7 වරක් ෆෝමියුලා-I ලෝක ශූරතාව දිනා ඇති හැමිල්ටන් මෙම වසරේදී සිය 8 වැනි ලෝක ශූරතාව හඹායමින් සිටින අතර එහිදී ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේද වර්ස්ටපන්ය. මෙම සති අන්තයේදී පැවැත්වෙන බෙල්ජියම් ගෝන් ප්‍රී තරගයේදී වර්ස්ටපන් පරාජය කිරීමට හැමිල්ටන්ට හැකි වුවහොත් එය ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ ලබන 100 වැනි ජයග්‍රහණය ලෙසද සටහන් වනු ඇත.

කෙසේ වෙතත් මෙම තරගයේදී සිය ජයග්‍රහණයට වඩා හැමිල්ටන් බලාපොරොත්තුවන්නේ තමන් සහ වර්ස්ටපන් අතර පරතරය වැඩිකර ගැනීමයි.

මෙම වසරේ (2021) ලෝක ශූරතාව දිනාගැනීමට හැමිල්ටන්ට හැකි වුවහොත් වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ‍ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වීමේ දුර්ලභ අවස්ථාවද ඔහුට හිමිවනු ඇත.  ෆෝමියුලා-I කාණ්ඩයේ අද්වීතීය ලෝක ශූරයා වන මයිකල් ශූමාකර්ගේ  ලෝක ශූරතා 7 වාර්තාව හැමිල්ටන් දැනටමත් සමකර තිබේ.

‍කෙසේ වුවත් බෙල්ජියම් ගෝන් ප්‍රී තරගයේදී මෙන්ම ඉන් අනතුරුව පැවැත්වෙන නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගයේදීද වැඩි වාසි වර්ස්ටපන්ට හිමි වන අතර ඊට හේතු‍ව වන්නේ ඔහුගේ උපන් රට බෙල්ජියම වුවත්, මේ වන විට ඔහු වාසය කරන රට නෙදර්ලන්තය වීමයි. එම තරගාවලි දෙකේදීම තරග වැදීමට සිදුවන්නේ ඉතා හුරුපුරුදු ධාවන පථවලදී වීමත්, නරඹන්නන්ගෙන් ඉහළ දිරිමත් කිරීමක් හිමිවීමත් එහිදී වර්ස්ටපන්ට වැඩි වාසි අත්කර දෙනු ඇත.

කිලෝ මීටර් 7.004 ක දුරකින් සමන්විත ස්පා-ෆ්‍රැන්කෝචැම්ප්ස් ධාවන පථයේදී පැවැත්වෙන බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය වට 44 කින් සමන්විත වේ. එහි පෙර හුරු තරග සිකුරාදා (27 වැනිදා) දිනය පුරා සහ සෙනසුරාදා (28 වැනිදා) පෙරවරුවේ පැවැත්වෙන අතර කාල ගණනයන් සෙනසුරාදා පස්වරුවේදී පැවැත්වේ.

මෙම තරගයෙන් අනතුරුව මේ වසරේ ‍ෆෝමියුලා-I ලෝක ශූරතාවලිය‍ වෙනුවෙන් ලකුණු රැස්කිරීම සඳහා ක්‍රීඩකයන්ට තවත් ගෝන් ප්‍රී තරග 10 ක් ඉතිරිව ඇති අතර නෙදර්ලන්ත, ඉතාලි, රුසියානු, තුර්කි, ජපන්, ඇමරිකානු, මෙක්සිකෝ, බ්‍රසීල, සවුදි අරාබි සහ අබුඩාබි ගෝන් ප්‍රී තරග ඒ අතර වේ.

එහිදී හැමිල්ටන් සහ වර්ස්ටපන් අතර පවතින ද්වන්ධ සටනට නොදෙවෙනි සටනක් ඔවුන් දෙදෙනා නියෝජනය කරන කණ්ඩායම් දෙක වන මර්සිඩීස් සහ රෙඩ්බුල් රේසිං - හොණ්ඩා කණ්ඩායම් දෙක අතරද දැක බලාගත හැකිය. මේ වන විට මර්සිඩීස් කණ්ඩායම ලකුණු 303 ක් ලබා කණ්ඩ‍ායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 291 ක් ලබා මර්සිඩීස් කණ්ඩායමට වඩා ලකුණු 12 ක් පසුපසින් සිටියි.

 


 

මැක්ස් වර්ස්ටපන් ...

- රොයිටර් සහ ප්‍රංශ පුවත් ඇසුරිනි


අදහස් (0)

වර්ස්ටපන් ජයග්‍රහණයත් හැමිල්ටන් පරතරයත් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.