Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විලියම්ස් සොයුරියෝ අද මුණ ගැසෙති

විලියම්ස් සොයුරියෝ අද මුණ ගැසෙති

Dilrukshi - 2015 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 


විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ කාගෙත් නෙත් සිත් යොමුවූ ආකර්ශණීය තරගයක් අද ලන්ඩනයේ විම්බල්ඩන් හී  ඕල් ඉංග්ලන්ඞ් ටෙනිස් සමාජ කී‍්‍රඩාංගණයේ දී ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 5.30ට පැවැත්වේ. මේ තරගයට එක්වන්නේ ලොව වඩාත්ම අවධානයට ලක්වූ අමෙරිකාවේ සුප‍්‍රකට විලියම්ස් සොයුරින්ය. දෙදෙනා තමතමන් හඳුන්වා දෙන ආකාරයට නම් එය විලියම්ස් මෙනෙවියට එරෙහි විලියම්ස් මෙනෙවියගේ ගැටුමකි.

 
මෙය සෙරීනා සිය වැඩිමල් සොයුරිය හා තරග වදින 26 වැනි අවස්ථාව වන අතර  විම්බල්ඩන් පිටියේදී එකිනෙකා හමුවන 6 වැනි වතාව වේ. එහෙත් වසර 2009 න් පසුව දෙදෙනා විම්බල්ඩන් පිටියේ මුණගැසෙන මුල්ම අවස්ථාවද මෙයයි.


අවසන් වරට දෙදෙනා 2009 වසරේ විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් මහා තරගයේ්දී මුණගැසුණු අතර එහි දී සිය සොයුරිය පරාජය කළ සෙරීනා ශූරතාවට  හිමිකම් කීවාය. අනිත් අතට බැලූ විට විලියම්ස් සොයුරියන් විම්බල්ඩන් ශූරතාවලියක අවසන් තරගයෙන් මෙහා එකිනෙකා හමුවන්නේ වසර 2000න් පසුවය. එහි දී පැවැති අවසන් පූර්ව තරගයේ දී සිය නැගණිය පරාජය කළ වීනස් පසුව ශූරතාවත් දිනාගත්තාය.


මෙතෙක් විම්බල්ඩන් ශූරතා 5 බැගින් අයිතිකරගෙන සිටින විලියම්ස් සොයුරියන් තම තමන් අතර බෙදාහදාගත් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ගණන 27කි.


35 හැවිරිදි වීනස් කලක් සිරුර දුර්වල කෙරෙන දුර්ලභ රෝගී තත්ත්වයකින් සිටි අතර මෙවර තරගාවලියට එක්වූයේ මාස 18කට පසුවය. එහෙත් 33 හැවිරිදි සෙරීනා නම් කිසිදු විවේකයන් නොගෙන තරග කරමින් පසුගියදා ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව ද අත්කර ගත්තාය. එබැවින් අද තරගයේ වැඩි වාසිය සෙරීනාටය.


අද තරගය ගැන සෙරීනා කීවේ මෙවැනි කතාවකි.  


”අදත් ඇය මගේ සොයුරියයි. ලබන සතියේදිත් ඇය මගේ සොයුරියයි.  ඊළඟ වසරේදිත් ඇය මගේ සොයුරියයි. මං හිතන්නේ තරගයකට වඩා වැදගත් දේ ඒකයි.”


”අවාසනාවන්ත කාරණය නම් අපි දෙන්නට වේලසනින්ම එකිනෙකා හා තරග කිරීමට සිදුවීමයි. ඒත් අපි අපේ උපරිම දස්කම් දක්වනවා. පිටියේ දී අපි සියලූ නෑදෑකම් අමතක කරනවා. ඉන් පස්සේ අපි ආපහු සුපුරුදු ජිීවිතයට පිවිසෙනවා” යයිද සෙරීනා කීවාය.


”වීනස් මාව ගොඩාක් දිරිගැන්වූ කෙනෙක්. එයා පුද්ගලයෙන් හැටියට විස්මිත චරිතයකට හිමිකම් කියන කෙනෙක්. මම දන්නෙ නැහැ මං මොනව කරන්නද කියලා. ඇත්තම කියනවානම් මම අද සෙල්ලම් කරන්නේ මගේ ටෙනිස් ජීවිතයේ හමුවූ වඩාත්ම දුෂ්කර කී‍්‍රඩිකාව එක්කයි.” යයිද සෙරීනා සිය වැඩිමහල් සොහොයුරිය ගැන පැවසුවාය.
නැගණිය එසේ කීවත් වීනස් කීවේ වෙනස් කතාවකි


”සෙරීනාට එරෙහිව තරග කිරීම කොහෙත්ම ලෙහෙසි නෑ. කොහොම සෙල්ලම් කළත් ඇය දන්නවා දිනන්න  ඕන විදිහ. මං එයා වෙනුවෙන් පී‍්‍රතිඝෝෂා කරනවා” යයි වීනස් කීවාය.


මේ අතර 1979 සහ 1981 දී අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ ජයගත් ටේ‍්‍රසි ඔස්ටින් විලියම්ස් සොයුරියන්ගේ දස්කම් ගැන ඔවුන්ගේ මවුපියන් පැසසුමට ලක් කරන්නීය.


”මෙහි ගෞරවය යා යුත්තේ ඒ දෙන්නගේ මවුපියන් වන රිචඞ්ට හා ඔරේසිනේටයි. එයාලා තමයි පවුලක් හැටියට ආදරය හා බැඳීීම් ඇතිකරලා තියෙන්නේ”


”ඔවුන් සෙරීනාට හා වීනස්ට පොඩි කාලේදිම කියා දුන්නා ඔවුන් එකිනෙකා හා සෙල්ලම් කරන හැම මොහොතේම එය තරගයක් පමණයි කියලා හිතන්න කියලා” යයි ටේ‍්‍රසි ඔස්ටින් කීවාය.


තුන්වතාවක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනාගත් ලින්ඞ්සේ ඩෙවෙන්පෝර්ට් මෙසේ කියන්නීය.


”පස් වතාවක් විම්බල්ඩන් ශූරතා දිනූ අය කීයෙන් කීදෙනා ද ඉන්නේ..? ඒ අතරිනුත් අවසන් මහා තරගයෙන් සිය සොයුරිය පරදවා ඒ දස්කම පෙන්වූ අයට ඉන්නේ විලියම්ස් සොයුරියන් පමණයි. ඇත්තටම ඔවුන් දෙන්නා එකිනෙකා හා තරග වදින කොට දෙන්නගේ මුහුණුවල තියෙන වේදනාව  ඕන කෙනෙක්ට දැකබලා ගන්න පුලූවනි”


”ඒත් හැමදෙයක්ම අමතක කරලා සිය ප‍්‍රතිවාදියා පරාජය කරන්න දෙන්නම උත්සාහ ගන්නවා. දෙන්නා පිටියෙන් එළියට එන්නෙත් එකටමයි. එකිනෙකාගේ ලොකුම දිරිගන්වන්නා වෙන්නෙත් ඔවුන් දෙන්නමයි. ඒක තමයි පවුලක් කියන්නේ” යයි ලින්ඞ්සේ ඩෙවන්පෝර්ට් කීවාය.


කෙසේ වෙතත් අද තරගයේ දී හැ`ගීම් බර නොවී කී‍්‍රඩා කිරීමට සෙරීනාගේ පුහුණුකරු මෙන්ම පෙම්වතා ද වන පැටි‍්‍රක් මොරෙටොග්ලෝ උපදෙස් දී තිබේ. ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගයක දී වීනස්ට එරෙහිව සෙරීනාව සූදානම්  කරවීමට ඔහුට සිදුවී ඇත්තේ පළමු වරටය. එය පහසු කාර්යයක් නොවන බව ඔහු දනී.


”සිය සොයුරියට එරෙහිව කී‍්‍රඩා කිරීම සෙරිනාට විශේෂිත එකක්. ඒ වගේම තරගයේ දී සොයුරියට එරෙහිව සුපුරුදු ආක‍්‍රමණශීලී කී‍්‍රඩා රටාවට යන්න කොහෙත්ම ලෙහෙසි නෑ. මම උත්සාහ කරන්නේ මේක අසීරු ඒත් විශේෂිත තරගයක් නිසා කොහොමහරි සෙරීනාගේ ජයග‍්‍රාහී මානසිකත්වය වැඩි කරවන්නයි”


තරගය පිළිබඳ ඊයේ (ඉරිදා* විම්බල්ඩන් පිටියේ දී මාධ්‍යවේදීන් හමුවූ වීනස්ගේ පුහුණුකරු ඬේවිඞ් විට් මෙසේ කීවේය.
”අපි දන්නෙ නෑ මොනව වේවිද කියලා. එයාලා එකිනෙකා හා තරග කරනවා  ඕන තරම් දැකලා තියෙනවා. ඒ වගේම අපි එකිනෙකට වෙනස් ප‍්‍රතිඵලත් අත්විඳලාත් තියෙනවා...එත් විශේෂයෙන්  විම්බල්ඩන් හී දී අපිට එහෙම අනාවැකි කියන්න බෑ. අපි මේ ටිකේ හොඳ තරග වගේම නරක තරගත් දැක්කනේ” යයිද ඬේවිඞ් වීට් පැවසුවාය.


26 වතාවක් එකිනෙකා හා තරග වැදුණු විලියම්ස් සොයුරියන්ගේ ඉතිහාසය බැලූවිට සෙරීනා ඉදිරියෙන් සිටින බව පෙනේ. ඒ තරග 14-11 ක් ලෙසිනි.


ප‍්‍රධාන මට්ටමේ තරගාවලියක දෙදෙනා හමුවන්නේ 13 වැනි වරටය. එහිදී  තරග 7-5 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ද සෙරීනාය. දෙදෙනා අතර පැවැති විම්බල්ඩන් තරග 5 න් 3-2 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නෙත් ඇයමය.
වීනස් විලියම්ස් වත්මන් ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රේණිගතකිරීම් අතරේ අංක 1 කී‍්‍රඩිකාව සෙරීනාය.

 


අදහස් (1)

විලියම්ස් සොයුරියෝ අද මුණ ගැසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.