Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක පාපන්දු ලොක්කන්ගේ කෙරුම් තව සොයයි

ලෝක පාපන්දු ලොක්කන්ගේ කෙරුම් තව සොයයි

ශනුක අරවින්ද - 2015 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදු වූයේ යැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමට එක්සත් ජනපද බලධාරීහූ කටයුතු කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඊට අමතර අපරාධ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද එක්සත් ජනපද නිතීපතිනි ලොරේටා ලින්ච් පවසා තිබිණි.

පරීක්ෂණ කටයුතු පුළුල් වීමත් සමඟ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදු වූයේ යැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වන කැළඹීම තව තවත් වැඩි වනු ඇතැයි පැවැසේ.

ඇමෙරිකා එක්සත් ජනපදය කරන පරීක්ෂණවලට අමතරව ස්විට්සර්ලන්ත බලධාරීහු ද වෙනම පරීක්ෂණයක් කරති. ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පිහිටා ඇති අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයට අයත්, ඇල්ප්ස් හි පිහිටි දේපළ හා නිවාස සංකීර්ණ කිහිපයක්ද පරීක්ෂණ කරන බලධාරීන්ගේ බාරයට ගත් බව ස්විට්සර්ලන්තයේ ප‍්‍රධාන නීති නිලධරයා පවසා ඇත.

මෙම සිදුවීම් දාමය වසර 111 ක ඉතිහාසයක් හිමි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ දරුණුතම අර්බුදය බවට පත්ව තිබේ.
මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හත් දෙනකු ඉකුත් මැයි මාසයේදී අත්අඩංගුවට ගැනීම මෙම සිදුවීම් ජාලයේ ආරම්භය විය.

”විභාග වෙන අධිචෝදනාවලට අමතරව අපේ පරීක්ෂණ කි‍්‍රයාත්මක වෙනවා. එම පරීක්ෂණ කෙරෙන්නේම මැයි මාසයේ සිටම පවතින තොරතුරුවලට අනුවයි” යැයි ඇමෙරිකා එක්සත් ජනපද නිතීපතිනි ලොරීටා ලින්ච් සූරිච් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය. ඇය ඒ බව පවසද්දි ස්විස් නීතිපති මයිකල් ලාබර් මහතාද පසෙක විය.

”ස්විස් බලධාරීන් සමඟ සහයෝගයෙන්, නව සාක්ෂි පදනම් කරගෙන ස්වාධීන පුද්ගලයන්ට හා අදාළ ආයතනවලට අමතර චෝදනා ගොනු කිරීමට අප බලපාරොත්තු වෙනවා” ලින්ච් කීවාය.

”ප‍්‍රවර්ධන කි‍්‍රයාවලියේදී ඔබ සිටියේ වැරැදි පැත්තේ. මේ සුන්දර කී‍්‍රඩාවට අනර්ථයක් සිදුවෙලා” යැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදු වූ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පොදු පිළිතුරක් දෙමින් ඇය පැවැසුවාය.

ස්විට්සර්ලන්ත පරීක්ෂණ තවමත් අඩක් හෝ අවසන් වී නැති බවත්, තම කාර්යාලයේ කන්දක් තරම් උසට තොරතුරු ඇතුළත් ලිපිගොනු ගොඩ ගැසී ඇතැයි මයිකල් ලාබර් මහතා පැවැසීය.

ගත වූ කාලයේදී ටෙරා බයිට් 11 කට වැඩි ප‍්‍රමාණයක ඉලෙක්ට්‍රොනික දත්ත ප‍්‍රමාණයක් එක්රැුස් කරගැනීමට ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලයීය නිලධාරීහු සමත්ව සිටිති. ඒ තොරතුරු අතර සැක කටයුතු බැංකු ගිණුම් 121 ක් පිළිබඳවද තොරතුරු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.    

පසුගිය මාසයේදී පමණක් සිදු කෙරුණු විමර්ශනවලදී සැක කටයුතු මූල්‍ය කි‍්‍රයාකාරකම් 103 ක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය පවසයි.

බටහිර ස්විට්සර්ලන්තයේ නිවාස කිහිපයක් පරීක්ෂා කළ බවත් ඇල්ප්ස් කඳුවැටිය ආශි‍්‍රතව පැවැති නිවාස සංකීර්ණ කිහිපයක් තම නිලධාරීන් බාරයට ගත් බවත් ලාබර් මහතා පැවැසීය. අදාළ ස්ථාන මූල්‍ය අක‍්‍රමිකතා සඳහා යොදාගත් ස්ථාන ලෙස සැක කෙරෙන බැවින් එසේ පවරාගත් බවද පැවැසේ.

ඇමරිකා එක්සත් ජනපදය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරීන් නව දෙනකුට හා විධායක නිලධාරීන් පස් දෙනකුට අධි චෝදනා ගොනු කර තිබේ. ඔවුන්ට එරෙහිව ඇති චෝදනා වනුයේ, පසුගිය 24 වසරක කාලයේදී ඩොලර් මිලියන හා බිලියන ගණනින් මුදල් අක‍්‍රමිකතා සහ වංචාවන්ට සම්බන්ධ වීමයි. ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුනට එරෙහි චෝදනා ගොනු කර ඇත.

ඊට අමතරව 2018 හා 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය රුසියාවටත් කැනඩාවටත් හිමි වී ආකාරය පිළිබඳවද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම රටවල් දෙකට සත්කාරකත්වය හිමි වීමේදී යම් කිසි නීතිවිරෝධී කටයුත්තක් සිදුව ඇත්දැයි සෙවීමට ස්විට්සර්ලන්ත බලධාරීහු වෙනමම පරීක්ෂණ කරති.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර්ට ස්විට්සර්ලන්ත හෝ ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් මේ වනතෙක් කිසිදු චෝදනාවක් එල්ල කර නැත. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සෙප් බ්ලැටර්ගේ නායකත්වය යටතේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

තමත් කිසිදු වරදක් කර නැතැයි සෙප් බ්ලැට්ර් මහතා බොහෝ අවස්ථාවලදී පැවැසූ අතර ඇමෙරිකා හෝ යුරෝපීය බලධාරීහු මේ වනතෙක් ඔහුට එරෙහිව කිසිදු නීති කි‍්‍රයාමාර්ගයක් හෝ අපරාධ චෝදනාවක්ද ගොනු කර නැත.

සෙප් බ්ලැටර් ඇමෙරිකානු පරීක්ෂණවල ඉලක්කයක්ද? ඇමෙරිකා එක්සත් ජනපදයට හෝ ඇමෙරිකා එක්සත් ජනපදය සමීප සමබඳතා පවත්වන රටකට හෝ පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගන්නේ ද යන්න පිළිබඳව එරට නීතිපතිනිය ලින්ච් කිසිවක් නොපැවැසූවාය.

”මීළඟට අත්අඩංගුවට ගන්නේ කවුරුද යන්න හෝ එක් එක් පුද්ගලයා ගැන හෝ ප‍්‍රකාශ කිරීමට මා සූදානම් නැහැ. එම නිසා, බ්ලැටර් මහතාගේ සංචාර සැලැසුම් ගැන හෝ ඔහු ගැන කියන්නට මට හැකියාවක් නැහැ” යැයි ලින්ච් මහත්මිය පැවැසුවාය.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අති විශේෂ සමුළුවේදී නව සභාපතිවරයකු තෝරා පත්කරගත් විගස තමා සභාපතිධුරයෙන් ඉවත් වන සෙප් බ්ලැටර් මීට ඉහත දී පවසා තිබුණි.
 

 


අදහස් (0)

ලෝක පාපන්දු ලොක්කන්ගේ කෙරුම් තව සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.