Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාවත් දිනයි
චැම්පියන්ස් ලීග්

රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාවත් දිනයි

editorial - 2022 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපීය පාපන්දු ලීගවල පෙරමුණේ පසුවන කණ්ඩායම් අතර පැවැත්වෙන ශූරයන්ගේ ලීග පාපන්දු තරගාවලියේ ශූරතාව 14 වැනි වරටත් තමන් සතුකර ගැනීමට රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය සමත් විය. ඔවුන් මෙවර (2022) ශූරතාවට හිමිකම් කීවේ ප්‍රංශයේ ස්ටේඩ් ඩි’ ප්‍රාන්ස් ක්‍රීඩාගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ගෝල 1-0 ක් ලෙස ලිවර්පූල් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

යුරොපීය පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට යූරෝ මිලියන 20 ක (රුපියල් බිලියන 7.41 ක පමණ) මුදල් ත්‍යාගයක් පිරිනැමිණ. අනු ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ලිවර්පූල් ක්‍රීඩා සමාජයට පිරිනැමුණ මුදල් ත්‍යාගය යුරෝ මිලියන 15.5 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5.74 ක් පමණ වේ.

වසර 67 ක ඉතිහාසයකට හිමිකම් කියන මෙම තරගවලියේදී වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගැනීමට රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සමත්ව සිටි අතර මෙම වසරේ ශූරතාවත් සමග ඔවුන් සතුව ඇති ශූරතා සංඛ්‍යාව 14 ක් බවට පත්විය. මෙවර අවසන් තරගයේ වීරයා ලෙස රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ දැල රකින ක්‍රීඩක තිබට් කෝටොයිස් සම්මාන දිනාගත්තේය.

අවසන් තරගයේදී ලිවර්පූල් කණ්ඩායම දැල ඉලක්ක කර ගනිමින් පහර 9 ක් එල්ල කළද, රියල් මැඩ්රිඩ් දැල රකින්නා එම පහර සියල්ල වළක්වාලීමට සමත් විය. රියල් මැඩ්රිඩ් කණ්ඩායම දැල ඉලක්ක කරගෙන එල්ල කළේ පහර 2 ක් පමණක් වූවත් ඉන් එක් පහරක් වළක්වාලීමට ලිවර්පූල් දැල රකින්නා අසමත් විය. තරගය තුළදී ලිවර්පූල් කණ්ඩායම නිති විරෝධී ක්‍රියාවන් 13 කද, රියල් මැඩ්රීඩ් කණ්ඩායම නිති විරෝධී ක්‍රියා 7 කද නිරත වූහ.

ආරම්භයේ සිටම ඉතා තියුණු තරගයක් පැවැති බැවින් පළමු අර්ධය නිමාවන තෙක්ම දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි විය. කෙසේ වුවත් 59 වැනි විනාඩියේදී ෆෙඩ්රිකෝ වැල්වර්ඩ්ගේ පන්දු යොමුකිරීමක් මගින් තමා වෙත පැමිණි පන්දුව සාර්ථක ලෙස දැල තුළට යොමුකළ විනිසියස් ජූනියර් තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. තරගයේ 62 වැනි විනාඩියේදී ලිවර්පූල් ක්‍රීඩක ෆැබියෝ හෙන්රික්ස් කහ කාඩ්පතක් ලැබීය.

තරගාවලියේ අවසන් පූර්ව වටය අදියර දෙකකින් සමන්විත වූ අතර එහිදී එක් කණ්ඩායමක් තවත් කණ්ඩායම් සමග තරග දෙකකට බැගින් සහභාග වූහ. එම තරග දෙකේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබූහ. ඒ අනුව අවසන් පූර්ව දෙකෙදීම ලබාගත් ගෝලවල එකතුව අනුව ගෝල 5-2 කින් විලාරියල් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලිවර්පූල් ක්‍රීඩා සමාජයද, ගෝල 6-5 කින් මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය පරාජය කරමින් රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

-036


අදහස් (0)

රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාවත් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.