Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාහුල් - ගිල් පරාජයෙන් ගැලවීමේ සටනක
ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගය

රාහුල් - ගිල් පරාජයෙන් ගැලවීමේ සටනක

editorial - 2025 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 669 ක් ලබාගත් එංගලන්තය, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී ලකුණු 311 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්තේය. එංගලන්ත ඉනිම අවසන් වූ වේලාව අනුව දිවා ආහාරයට පෙර ඕවර 3 කට මුහුණ දීමට ඉන්දියානුවන්ට සිදුවිය. 

ඉන්දියානුවන්ගේ අභාග්‍යක තරම කියතොත්, දෙවැනි ඉනිමේ පළමු ඕවරයේදීම කඩුලු දෙකක් අහිමි කරගත් ඉන්දියානුවෝ දිවා ආහාරයට ගියේ ලකුණු 01 කට කඩුලු 2 ක් ලෙසින් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය. සිය පළමු ඕවරයේදීම ක්‍රිස් වෝක්ස් විසින් යශස්වී ජයිස්වාල් සහ සායි සුදර්ශන් දෙදෙනාම ලකුණු ලබාගැනීමට පෙර ආපසු ක්‍රීඩාගාරයට යවන ලදි.  

කෙසේ වෙතත් එතැන් සිට එක්වූ ලෝකේෂ් රාහුල් (නොදැවී 87) සහ ෂුබ්මන් ගිල් (නොදැවී 78) දෙදෙනා අසීරු සටනක නිරතව සිටිති. තරගයේ සිව්වැනි දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 174 ක් ලබා සිටියහ. රාහුල් සහ ගිල් අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 174 කි. 

ඉන්දියානුවන් තවත් ලකුණු 137 ක් පසුපසින් සිටින අතර ඉතිරිව ඇත්තේ තරගයේ ඉතිරිව ඇත්තේ අවසන් දිනය පමණි. අවසන් දිනයේ කඩුලු 8 ක් රැකගන්නා අතරේ එංගලන්තය පසුකර ඉදිරියට යාමට ඉන්දියාවට හැකි වුවහොත් තරගය ජය පරාජයෙන් තොරන අවසන් කරගැනීමේ අවස්ථාව ඉන්දියානුවන්ට තිබේ. 

ඉන්දීය දෙවැනි ඉනිම ආරම්භ වූයේ නාටකීය විලාසයෙනි. 

පළමු අවස්ථාවේදී ජයිස්වාල්ගේ උඩපන්දුව රැකගැනීමට පළමු ස්ලිප් හි සිටි ජෝ රූට්ට, නොහැකි වූ නමුත් උඩපන්දුව බිම වැටෙන්නට පෙර තනි අතින් එය ඩැහැගැනීමට හිටපු එංගලන්ත නායකයා සමත්විය. වෝක්ස්ගේ ඊළඟ පන්දුව පිතිකරුවා අසරණ කළ එකකි. එහි උඩපන්දුව දෙවැනි ස්ලිප්හි සිටි හැරී බෲක් විසින් රැකගන්නා ලදි. 

කඩුලු 7 කට ලකුණු 544 ක් ලබා සිටියදී අද පෙරවරුවේ තරගය ආරම්භ කිරීමෙන් පසුව එංගලන්ත නායකයා කළේ ප්‍රදර්ශනාත්මක පිතිහරඹයකි. චිත්තාකර්ශනීය කවර් ඩ්‍රයිව් පහර කිහිපයකින් සිය ශතකයට ආසන්න වූ ස්ටෝක්ස්, ශතකයට එක ලකුණක් මෑතින් සිටියදී පන්දු කිහිපයකටම මුහුණ දුන්නත්, කිසිදු හදිසියක් පෙන්නුම් නොකළේය. පසුව මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් ලෝන්ග් ලෙග් හරහා හතරේ සීමාවට යවමින් ශතකය සම්පූර්ණ කළ බෙන් ස්ටෝක්ස්, එකම ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් සහ ශතකයක් ලබාගත් ලෝකයේ සුවිශේෂී නායකයන්ගේ සමාජකට ද ඇතුළත් විය. 

ඩෙනිස් ඇට්කින්සන් (බටහිර ඉන්දිය කෙදෙව්), ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (බටහිර ඉන්දීය කොදෙව්), මුස්තාක් අහමඩ් (පාකිස්තානය) සහ ඉම්රාන් ඛාන් (පාකිස්තානය) මෙම සුවිශේෂී දස්කම කළ ලෝකයේ සෙසු නායකයෝ වෙති. 

එකම ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් සහ ශතකයක් ලබාගත් සිව්වැනි එංගලන්ත ජාතිකයා වන්නේ ස්ටෝක්ස්ය. එංගලන්තයේ හිටපු නායකයකු වූ ටෝනි ග්‍රෙග් (නැසීගිය ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයා), ඉයන් බොතම් සහ ගස් ඇට්කින්සන් තිදෙනා ස්ටෝක්ස්ට පෙර මෙම දස්කම කර තිබිණ. විශේෂත්වය වන්නේ ඉයන් බොතම් ටෙස්ට් තරග 5 කදීම ශතකයක් සහ කඩුලු 5 ක් බැගින් ලබාගැනීමයි. 

ඉන්දිය මුල් ඉනිමේදී ස්ටෝක්ස් ලකුණු 72 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

ස්ටෝක්ස් අද ලබාගත්තේ ඔහුගේ 14 වැනි ටෙස්ට් ශතකය වූවත්, වසර දෙකකට පසුව ලබාගත් පළමු වැන්න විය. ඔහුගේ 13 වැනි ශතකය වූයේ 2023 අළු බඳුන තරගාවලියේදී ඕිස්ටේ්‍රලියානු පිලට එරෙහිව ලෝඩ්ස්හිදී ලබාගත් ලකුණු 155 යි. 

නායකයාගේ ලකුණු 141 ක ඉනිමෙන් සවිමත් වූ එංගලන්ත කණ්ඩායම, වසර 148 ක ටෙස්ට් ඉතිහාසයේදී තමන්ගේ පස්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. මේ වන විටත් 2-1 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටින එංගලන්ත කණ්ඩායමට, සිව්වැනි දිනයේ ලබාගත් ලකුණු සංඛ්‍යාවත් සමගින් මෙම තරගයේදීත් ජයග්‍රහණයක් කරා යාමේ හොඳ අවස්ථාවක් තිබේ. 

ඉන්දියාව - පළමු ඉනිම 358 යි

එංගලන්තය - පළමු ඉනිම 669 යි
(සැක් ක්‍රෝලි 84, බෙන් ඩකට් 94, ඔලී පෝප් 71, ජෝ රූට් 150, බෙන් ස්ටෝක්ස් 141, ලයාම් ඩෝසන් 26, බ්‍රයිඩන් කාර්ස් 47, ජස්ප්‍රීට් බුම්රා 112/2, රවීන්ද්‍ර ජදේජා 143/4, වොෂිංටන් සුන්දර් 107/2)

ඉන්දියාව දෙවැනි ඉනිම - කඩුලු 2 ට 174 යි
(ලෝකේෂ් රාහුල් නොදැවී 87, ෂුබ්මන් ගිල් නොදැවී 78, ක්‍රිස් වෝක්ස් 48/2)

- 213


අදහස් (0)

රාහුල් - ගිල් පරාජයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.