Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන් පදක්කම් සිහිනය බොඳ වෙයි

රන් පදක්කම් සිහිනය බොඳ වෙයි

editorial - 2025 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කළ ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේදී රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරග වලට සුදුසුකම් ලබා සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ශ්‍රී ලංකාවේ ප්‍රධානම රන් පදක්කම් බලාපොරොත්තු⁣ව වූ මොහොමඩ් උසෙයිත්, ඉතා තියුණු සටනකින් අනතුරුව ⁣වයස 22 න් පහළ කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ අවසන් තරගයේදී කසකස්ථානයේ අමාන් කොන්ස්බෙකොව් හමුවේ පරාජයට පත්විය.

කෙසේ වූවත් අවසන් මොහොත දක්වාම කසකස්ථාන ක්‍රීඩකයාට ප්‍රභල සටනක් දුන් උසෙයිත්, සිය ප්‍රතිවාදියාට වඩා පළමු වටය අවසානයේ ලකුණු 6 ක්ද, දෙවැනි වටය අවසාන⁣යේ ලකුණු 5 ක්ද, තෙවැනි වටය අවසානයේ ලකුණු 5 ක්ද පසුපසින් සිටියේය. උසෙයිත්⁣ගේ පරාජයත් සමග මෙම තරගාවයේදී ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් රන් පදක්කම් බලාපොරොත්තු⁣වත් ගිළිහී ගියේය.

මෙම තරගාවලියේදී ජයග්‍රහණ ද්විත්වයක් ලබා කැපී පෙනුණු දස්කම් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩකයා වූ ⁣උසෙයිත්, අර්ධ අවසන් පූර්ව වටයේදී සවුදි අරාබි ක්‍රීඩක අල්මොවොලඩ් නයීෆ්ද, අවසන් පූර්ව වටයේදී කිරිගිස්ථානයේ ඩැනියෙල් අබ්ඩ්‍රක්මනොව්ද පරාජය කිරීමට සමත් විය.

තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ පැවැති වයස 22 න් පහළ කාණ්ඩයේ කාන්තා  අවසන් මහ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහභාගි වු අතර එහිදී පරාජයට පත්වීම හේතුවෙන්  ඔවුන් තිදෙනාටද රිදී පදක්කම් වලින් සෑහීමකට පත්වීමට සිදුවූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වූ  එම්.එම්.එස්. නරසිංහ කිලෝ ග්‍රෑම් 75 බර පංතියෙන්ද, එම්.එච්.එන්. නායකරත්න කිලෝ ග්‍රෑම් 63 බර පංතියෙන්ද, එන්.එන්. තුෂාරිකා කිලෝ ග්‍රෑම් 81 බර පංතියෙන්ද අවසන් මහ තරගවලට ක්‍රීඩා කළ අතර එම තරගවලිදී ඔවුහු පිළිවෙළින් අරුසන් සන්ගබයේවා, ශුගීලා නලිබේ සහ සිබේක් සරස්කිසි යන කසකස්ථාන ක්‍රීඩිකාවන් හමුවේ පරාජය⁣ට පත්වූහ.

එහි විශේෂත්වය වූයේ උසෙයිත් මෙන් නොව, මෙම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනාම තරගාවලිය තුළ තරග වැදුණු පළමු තරගයම අවසන් මහ තරග වීමය. ඊට හේතුව වූයේ ඔවුන් තරග වැදුණු බර පංති සඳහා ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණක් සහභාගි වීමත්, එම බර පංතිවල අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නිතරග ජය ලැබී තිබීමත්ය. 

 

 


අදහස් (0)

රන් පදක්කම් සිහිනය බොඳ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.