Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන්ගේ වේගයේ අඩුවක්

යුපුන්ගේ වේගයේ අඩුවක්

editorial - 2022 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චෙක් ජනරජයේ ඔස්ටාරාබා නුවරදී අද  (1) පැවැති 61 වැනි ‘ගෝල්ඩන් ස්පයික්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ වේගය අඩාල වීමෙන් මීටර  100 (පිරිමි) ඉසව්වේ ඔහුට හිමිවූයේ තත්පර 10.08 කට පස් වැනි ස්ථානයයි.

මෙය සතියක කාලයකින් පසුව ඉසව්වේ ඔහුගේ දස්කම් අවම වීමකි. පසුගිය මැයි 31 වැනිදා ජර්මනියේ පැවති තරගාවලියකදී ඔහු මීටර  100 (පිරිමි) ඉසව්වේ මෙතෙක් ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කරමින් ජය ගත්තේ තත්පර 10.06කට නව තරග වාර්තාවක්ද පිහිටුවමින්ය.

එය මීටර 100 (පිරිමි) ඉසව්වේ අළුත්ම ශ්‍රී ලංකා වාර්තාව බවටද පත්වූ අතර යුපුන් අවම තත්පර 10.05කට එළැඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සුදුසුකම් නාම ලේඛනයෙන් නිර්දේශ ලබා ගැනීමේ මූලික අපේක්ෂාවෙන් අද තරග වැදුණි.

ජර්මනියේදී දැක්වූ දස්කම හමුවේ ඔහු එම අවස්ථාවේදී මීටර 100 (පිරිමි) ඉසව්වේ ආසියාවෙන්ම පළමු තැනට පත්ව සිටීමටද සමත් විය. එවිට ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීම්හි හිමිව තිබුණේ 65 වැනි ස්ථානයයි.

කෙසේ වුවත් චෙක් ජනරජයේදී ඔහු අද පළ කළේ සිය ඉසව්වේ පෞද්ගලික හොඳම දෙවැනි දක්ෂතාවයයි. මීට පෙර මැයි 18 වැනිදා ඔහු නේවාසික පුහුණුවීම් හදාරන ඉතාලියේ පැවැති ‘ඩයමන්ඩ්’ තරගාවලියකදී මීටර 100 (පිරිමි) ඉසව්වේදී ඔහු තත්පර 10.04ක උපරිම දක්ෂතාවයක් වාර්තා කිරීමට සමත් වුවත් එහිදී සුළඟේ වේගය+2.3ක  අගයක් ගැනීමෙන් නිල වාර්තා පොතට ඇතුළත් නොවීය. කෙසේ වුවත් එය  සළකන්නේ දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩකයෙකු වෙතින් මෙතෙක් වාර්තා වූ ඉහළම වේගය ලෙසයි.

‘චෙක්’ ජනරජයේ ඊයේ පැවති තරගාවලියේ මීටර 100 (පිරිමි) ඉසව්වේ ජයග්‍රහනය බ්‍රිතාන්‍ය ක්‍රීඩක රිස් ෆ්‍රෙස්කෝඩ්ට හිමි වුණේ තත්පර 9.93කටය. ඔහු වසර කීපයකට පසුව ඉසව්වේ දැක්වූ හොඳම දක්ෂතාවය ලෙස එය සැළකෙන අතර වසර 2018 යුරෝපීය මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 9.96කට රිදී පදක්කම ලද ක්‍රීඩකයායි.

මේ අතර ලොව ප්‍රකට කෙටි ධාවන ශූරයෙකු වන ඔලිම්පික් හා ලෝක ශූරතා රන් පදක්කම්ලාභියෙකු ද වන ජැමෙයිකානු ක්‍රීඩක  යොහාන් බ්ලේක් මෙහිදී දෙවැනි තැනට පත්වූයේ තත්පර 10.05ක වේගයක් වාර්තා කරමිනි. යුරෝපා ශූරතා රන් පදක්කම්ලාභියෙකු වන බ්‍රිතාන්‍ය ක්‍රීඩක ෂර්ෆල් හියුස් තත්පර 10.05 බ්ලේක් හා සමාන කාලයක් වාර්තා කරමින් තෙවැනි තැන ලැබීය.

කෙසේ වුවත් ඉතාලියේ වෙසෙන යුපුන් අබේකෝන් ජුලි15 වැනිදා ඇමරිකාවේදී ඇරඹෙන 18 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජුනි මාසයේදී යුරෝපයේ පැවැත්වෙන තවත් මලල ක්‍රීඩා තරගාවලි කීපයකට සහභාගිවීමට සුදානමින් සිටියි.

මීටර 200 (පිරිමි) ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවා බවටද (තත්පර 21.35) මේ වනවිට පත්ව සිටින්නේ 27 හැවිරිදි  යුපුන් අබේකෝන්ය. ඒ ඉතාලියේ තරගාවලි දෙකකදී දක්ෂතා දක්වමිනි.

 


අදහස් (0)

යුපුන්ගේ වේගයේ අඩුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.