Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙසී ආර්ජන්ටිනාව ගොඩගනී

මෙසී ආර්ජන්ටිනාව ගොඩගනී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අත්‍යාවශ්‍යම මොහොතේදී, පීඩනය උපරිම තත්ත්වයට පත්වීමෙන් පසු, ආජන්ටිනාවේ පිළිසරණට ලයනල් මෙසී දිව ආවේය. ප්‍රතිඵලය පිට පිටම ලබාගත් ගෝල තුනකි.

වසර 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ආජන්ටිනාව ඉවතට විසිවීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉදිරියට පැමිණි මෙම අති විශිෂ්ට මැද පෙළ ක්‍රීඩකයා ලබාගත් ගෝල තුන හේතුවෙන් ඉක්වදෝර් පිලට එරෙහිව 3-1 ක ජයක් ලබාගත් ආජන්ටිනා කණ්ඩායම ලබන වසරේදී රුසියාව බලා පියාසර කිරීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත්තේය.

උරුගුවේහි මොන්ටෙවීඩියෝ නුවරදී පැවැති මෙම තරගයෙන් පසුව උද්දාමයට පත් මෙසී....
“ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්න ආජන්ටිනාවට බැරි වුණා නම් ඒක මහ විකාරයක්”
“අපි ආරම්භ කළේ පසුපසින් තමයි. ඒත් නියම වෙලාවේදී ක්‍රියාත්මක වෙලා අපට පෙරමුණ ගන්න ලබුණා...
මේකට තමයි අපි ආවේ...” යයි පැවසීය.

තරගයෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ආජන්ටිනා පාපන්දු නායකයා කීවේ ආජන්ටිනාවේ වත්මන් පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර නැවතත් වෙනස් වන බවයි.

“අපි වෙනස් වෙනවා....අපි තව තවත් දියුණු වෙනවා....මේ ජයග්‍රහණයෙන් අප තව තවත් ශක්තිමත් වෙනවා” යයිද පැවසීය.

මෙසී එසේ කීවත් ලෝක කුසලාන තරගාවලියට පෙර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට තව බොහෝ දේ කිරීමට සිදුවනු ඇත. මෙසීගේ නායකත්වයෙන් යුතුව තරග කළ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම 2014 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ජර්මනිය හමුවේ 1-0 කින් පරාජය විය.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරමින් වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘ බැලන් ඩි’ඕර්” සම්මාන පස්වතාවක් දිනා සිටින මෙසී තමන්ගේ උපන් රට වෙනුවෙන් තවමත් කුසලානයක් දිනා දී නැත.

එහෙත් අඟහරුවාදා රාත්‍රියේ ඉක්වදෝර් පිලට එරෙහිව පැවැති තරගයෙන් පසුව ආජන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු ජෝර්ජ් සම්පාඕලි මහතා කියා සිටියේ “මෙසී ආජන්ටිනවට නම් ලෝක කුසලානයක් ණය නෑ. ඒත් පාපන්දු ක්‍රීඩාව නම් ඔහුට ලෝක කුසලානයක් ණයයි” යනුවෙනි.

දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ ඉහලින්ම සිටින කණ්ඩායම් හතර ලබන වසරේදී රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගනී. ප්‍රසාද ලකුණු 41 ක් ලබා සිටින බ්‍රසීලය මාස කිහිපයකට පෙරදීම 2018 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේය. අඟහරුවාදා (10 වැනිදා) පැවැති තරගවල ප්‍රතිඵල අනුව උරුගුවේ (31), අර්ජන්ටිනාව (28) සහ කොලොම්බියාව (27) මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

මහාද්වීපික සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් දිනය නාට්‍යයක් මෙන් විය. තරග 17 කට පසුව දකුණු ඇමරිකාවේ පාපන්දු කණ්ඩායම් හයක් අතර පරතරය ලකුණු 4 ක් වී තිබිණ.

ඉක්වදෝර් පිලට එරෙහිව ආර්ජන්ටිනා කණ්ඩායම 3-1 ක ජයක් ලබාගනිද්දී බොලිවියානු පිල පරදවමින් උරුගුවේ කණ්ඩායම ගෝල 4-2 ක ජයක් ලබාගත්තේය. කොලොම්බියාව සහ පීරු අතර පැවැති තරගය ගෝල 1-1 ක් ලෙසින් සමවිය. මේ අතරවාරයේදී දකුණු ඇමරිකානු පාපන්දු ශූරයන් වන චිලී පිලට ලෝක කුසලාන තරගාවලිය අහිමි විය.

යම් හෙයකින් ඉක්වදෝරයට එරෙහිව පැවැති තරගය ජයගත නොහැකිව අර්ජන්ටිනා පිල ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත ගියේ නම් එය වසර 50 කට පසුව ආර්ජන්ටිනා කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගිය පළමු අවස්ථාව වන්නට තිබිණ.

ඉක්වදෝර් පිල සමග තරගය ආරම්භ වීමෙන් පසුව විනාඩියක් යාමටත් මත්තෙන් (38 වැනි තත්ත්පරයේදී) අර්ජන්ටිනා පිල අන්දමන්ද කරමින් ඉක්වදෝරය වෙනුවෙන් පළමු ගෝලය ලබාගැනීමට රොමාරියෝ ඉබ්රාසා සමත් වූයේය. එහෙත් පළමු විනාඩි 20 ඇතුළත ගෝල දෙකක් ලබාගත් මෙසී ආර්ජන්ටිනා පිල පෙරමුණට ගෙන ආවේය.

ආර්ජන්ටිනාව වෙනුවෙන් සහභාගි වූ 44 වැනි තරගයේ දෙවැනි භාගයේදී තවත් ගෝලයක් ලබාගත් මෙසී ජයග්‍රහණය ඉක්වදෝර් පිලෙන් ඈතට ගෙන ගියේය. ඒ අනුව සිවුවැනි වරටත් පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව මෙසී ලබාගත්තේ ආර්ජන්ටිනාවේ ලක්‍ෂ සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාවත් උදාකරමිනි.

ලබන වසරේදී 31 වැනි වියට පා තබන මෙම විශිෂ්ට ක්‍රීඩකයාට තමන්ගේ වීරයා වන ඩියාගෝ මැරඩෝනා හා සමවීමට ඇති අවසන් අවස්ථාවද එය විය හැකිය. මෙසීගේ වීරයා වන මැරඩෝනා 1986 දී ලෝක කුසලාන දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයාය.

2015 කෝපා-ඇමරිකා කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදීත් 2016 කෝපා-ඇමරිකා ශත සංවත්සර තරගාවලියේ අවසන් මහ තරගයේදීත් මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා පිලට උරුම වූයේ පරාජයයි.

 


අදහස් (0)

මෙසී ආර්ජන්ටිනාව ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.