Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මූලික වටයේදීම දෙවතාවක් වාර්තාව අලුත්වෙයි

මූලික වටයේදීම දෙවතාවක් වාර්තාව අලුත්වෙයි

editorial - 2023 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේදී ආරම්භ වූ  34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (17) දිනය නිමාවේ නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට යෞවන සමාජ ක්‍රීඩකයෝ සමත්වූහ.

මීටර 110 කඩුලු වයස 20න් ඉහළ (පිරිමි) ඉසව්වෙන් තත්පර 14.07කට ඊයේ කේවල ඉසව්වකින් වාර්තාවූ එකම නව වාර්තාව පිහිටුවීමට සමත්වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනිදු ලක්විජයයි.  එය වසර නවයක් පැරැණි එහි කලින් වාර්තාව බිඳ දැමීමකි. එය 2014 වසරේදී කේ. පී. එච්. නිර්මාල් ක්‍රීඩකයා තත්පර 14.45කට පිහිටුවා තිබේ.

ඒ අතර ඊයේ දිනයේදී විශේෂත්වයක් ගත් සෙසු සිදුවීම වූයේ මීටර 100x4 (පිරිමි-වයස 20න් පහළ) ඉසව්වේ පැරැණි වාර්තාව මූලික වටයේදීම දෙවතාවක්ම බිඳ වැටීමයි.

මෙම සුවිශේෂී දක්ෂතාව දැක්වූයේ අම්පාර සහය දිවීමේ කණ්ඩායම හා මාතර සහය දිවීමේ කණ්ඩායමයි. මොවුන්ගේ පිළිවෙළින් ඉසව්වේ දක්ෂතාව තත්පර 41.99 ක් හා තත්පර 41.38කි. වසර 2021 ක්‍රීඩා උළෙලේදී මෙම සහය දිවීමේ ඉසව්වෙන් පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට තත්පර 42.55කට පිහිටුවා තිබූ පැරැණි වාර්තාව ඒ අනුව මෙවර ඉසව්වේ මූළික වටයේදී දෙවතාවක්ම බිඳ වැටීම කැපී පෙනේ.

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික යොවුන් ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියේ විශේෂත්වය වන්නේ වයස 20න් පහළ හා 20න් ඉහළ පරිදි ප්‍රධාන වයස් කාණ්ඩ දෙකකින් මලල ක්‍රීඩා කාන්තා හා පිරිමි ඉසව් පැවැත්වීමයි.

ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් හෙට (19) දක්වා පැවැත්වෙන අතර ඊයේ උදෑසන ඉසව් ආරම්භ කරමින් පැවැති මීටර 10000 (පිරිමි) දිගු ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ එම්. ගෝවිනාතන් විසිනි. ඒ විනාඩි 33 තත්පර 40.79කටය.

මෙම ඉසව්වේ දැනට පවතින ශ්‍රී ලංකා (ජාතික) වාර්තාවේ කාලය විනාඩි 29 තත්පර 18.0කි. මෙය 1975 සිට මේ දක්වා වසර 48ක් තරම් දීර්ඝතම කාලයක් මෙරට නොබිඳී පවතින එකම මලල ක්‍රීඩා ඉසව් වාර්තාවයි. එල්.එස්.බී. රෝසා 1975 ඇමරිකාවේදී මෙම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබේ.

ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය හෙට (19) පස්වරු 3ට සිදු කිරීමට නියමිතය. තරගාවලියේ මලල ක්‍රීඩා නව වාර්තාවකට රුපියල් දස දහසක් බැගින් විශේෂ මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන අතර, මෙම ක්‍රීඩා උළෙලේ දී ජාතික මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවීමට සමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක් නව වාර්තාවක් සඳහා රුපියල් 50000ක් බැගින් ජාතික තරුණ සේවා සභාව ප්‍රදානය කෙරෙන බව එහි සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) වී. අනිල් සිරිවර්ධන මහතා පවසයි.

මෙවර ක්‍රීඩා උළෙලේදී ගම්පහ ජනිදු ලක්විජය විසින් පළමු මලල ක්‍රීඩා නව තරග වාර්තාව පිහිටුවීය. 


අදහස් (0)

මූලික වටයේදීම දෙවතාවක් වාර්තාව අලුත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.