Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිල්කාගේ ශිෂ්‍යත්වය දීර්ඝ කරයි

මිල්කාගේ ශිෂ්‍යත්වය දීර්ඝ කරයි

editorial - 2021 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන)

ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ මත ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හිමිව මේ වනවිට ජපානයේ පුහුණුවීම් කටයුතු කරන මිල්කා ගෙහානි ද සිල්වාගේ ශිෂ්‍යත්වය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබා සිටින ඇය, ඔලිම්පික් උළෙලක ජිම්නාස්ටික් ක්‍රීඩාවක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි.

එමෙන්ම ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාවද ඇයට හිමිව ඇත.

මෙවර ඔලිම්පික් උළෙලේ ඉදිරි කටයුතු පිළිබඳ පැවැති හමුවකදී ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසා සිටියේ, ලබන වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී මිල්කා පදක්කම් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක බවයි. එනිසා ක්‍රීඩා ශිෂ්‍යත්වය දීර්ඝකිරීම ඇගේ පදක්කම් අපේක්ෂාවන්ට විශාල රුකුලක් වනු ඇති බවයි. 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2022 වසරේදී චීනයේ හැංෂෝහිදී පැවැත්වේ.  

ඒ අනුව ජපානයේ සිය පුහුණුවීම් කටයුතු තවදුරටත් කරගෙන යාම සඳහා ලබන මාසයේ ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් පසු, දෙවසරක නව ගිවිසුමට අත්සන් කිරීමට මිල්කාට අවස්ථාව උදාවනු ඇත. ඇගේ තෙවසරක (2019 සිට) ගිවිසුම මෙවර ඔලිම්පික් උළෙලින් පසු අවසන්වීමට නියමිතව තිබුණි.

මේ අතර මිල්කා ඊයේ (18දා) ඔලිම්පික් ගම්මානයට පැමිණීමට නියමිතව තිබූ අතර, එහිදී මෙරටින් පිටත්ව ගිය ඇගේ දේශීය පුහුණුකරු රංජන තරංග සහ ජිම්නාස්ටික් කළමණාකරු කපිල ජීවන්ත යන මහත්වරු හමුවීමට නියමිතව තිබුණි.

18 හැවිදිරි මිල්කා, කලාත්මක ජිම්නාස්ටික් (Artistic gymnast) ඉසව්වෙන් තරග කරන අතර, ඇය සහභාගිවන ඉසව්ව ඇතුළුව ජිම්නාස්ටික් තරග මේ මස 25 වැනිදා සිට අගෝස්තු මස 03 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී ඇති මිල්කා, 2019 වසරේ ජර්මනියේ පැවැති ජිම්නාස්ටික් ලෝක ශූරතාවලියේ ඉහළ දක්‍ෂතා දැක්වූවාය. එය ඇයට ඔලිම්පික් සුදුසුකම් ලැබීමට අවශ්‍ය පරිසාධන ලකුණු රැස්කිරීමට ප්‍රධාන හේතුවක් විය.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා දකුණු හා මධ්‍යම ආසියානු කලාපයේ රටවල්හි ක්‍රීඩිකාවන් දැක්වූ දක්‍ෂතා අනුව දෙදෙනෙකුට පමණක් ආරාධිත අවස්ථාව මත ඔලිම්පික් වරම් හිමි වූ අතර, එහිදී අවස්ථාව උදා වූයේ මිල්කාට හා ඉන්දියාවේ ප්‍රනාටි නායක්ට පමණි.

මෙවර ඔලිම්පික් ශ්‍රී ලංකා සංචිතයේ සිටින දෙවැනි ළාබාලතම ක්‍රීඩිකාව වන මිල්කා, 2016 පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ ක්‍රීඩා උළෙලටද සහභාගි වෙමින් 06 වැනියා ලෙස තරගය අවසන් කළාය. එමෙන්ම 2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද සහභාගි වූ මිල්කා, එම වසරේම ඉන්දුනීසියාවේ පැවති ආසියානු ශූරතාවලියේ පළමු 08 දෙනා අතරට පැමිණීමට සමත් වූවාය. එය ආසියානු ශූරතාවලියක ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක දැක්වූ ඉහළම දක්‍ෂතාව වෙයි.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ මූලික අධ්‍යපනය ලැබූ මිල්කා, ජපානයේ ශිෂ්‍යත්වය හිමිකරගන්නා විට කොළඹ 03 මෙතෝදිස්ත විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

 

 


අදහස් (0)

මිල්කාගේ ශිෂ්‍යත්වය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.