Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස්ගේ ශතකය ශ්‍රී ලංකා පිල ඔසවයි
චිතගොන් ටෙස්ට් තරගය

මැතිව්ස්ගේ ශතකය ශ්‍රී ලංකා පිල ඔසවයි

editorial - 2022 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය (15 වැනිදා) සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියේය.

පළමු දිනය අවසන් වන විට ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 114 ක්ද, දිනේෂ් චන්දිමාල් හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 75 කි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ මැතිව්ස් ටෙස්ට් ශතකයක් ලබාගත්තේ ඉනිම් 11 කට පසුවය. අවසන් වරට ඔහු ශතකයක් ලබා තිබුණේ මින් වසරකට පමණ පෙර එංගලන්තයට එරෙහිව ගාල්ලේදීය. ලකුණු 66 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් (54) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කිරීමටද මැතිව්ස් සමත් විය.

දිවා ආහාරයට පෙර ලකුණු 73 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිට ශ්‍රී ලංකා කණ්ඩායම, දිවා ආහාරයෙන් අනතුරුව තේ පානය දක්වාම බංග්ලාදේශ පන්දු යවන්නන්ට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් නොදීමට වග බලාගත්තේය. ඒ අතුර තුළ සිය කණ්ඩායමට තවත් ලකුණු 85 ක් එක්කිරීමට කුසල් සහ මැතිව්ස් සමත් වූහ.

තයිජුල් ඉස්ලාම් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 45 ඕවරයේ තෙවැනි පන්දුවේදී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගිය බවට විනිසුරුවරයා සංඥ්ඥා කළේය. කෙසේ වුවත් එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමුකළ මැතිව්ස්, තමා නොදැවුණ ක්‍රීඩකයකු බවට තහවුරු කරමින් තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාකර ගත්තේය.

තේ පානය නිමාවීමෙන් අනතුරුව තයිජුල් ඉස්ලාම් යැවූ පළමු පන්දුවේදීම නයීම් හසන් අතට පහසු උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්ව ගියේය. උප නායක ධනංජය ද සිල්වාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ මහමදුල් හසන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 6 ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 9 ක් ලබා සිටියදී නයීම් හසන් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය. විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යමින් තමාගේ දැවීයෑම යළි පරික්ෂා කර බැලීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගත්තද, පිත්තේ වැදීමට පෙර පන්දුව පා ආරවරණයේ වදින බව නිරීක්ෂණය වීමත් සමග ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් ලබා සිටියදී ඕෂධ ප්‍රනාන්දු දැවී ගියේ නයීම් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් අතට උඩ පන්දුවක් දෙමිනි. ඔහුද තමාගේ දැවීයෑම පරික්ෂා කිරීම සඳහා විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය යොදාගත් අතර ඉන් සිදුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවත් අහිමි වීම පමණි.

-036

 


අදහස් (0)

මැතිව්ස්ගේ ශතකය ශ්‍රී ලංකා පිල ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.