Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් ක්‍රිකට් ලොක්කන්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනී
ටෙස්ට් ලෝක ශූරතාවලිය

මැතිව්ස් ක්‍රිකට් ලොක්කන්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනී

editorial - 2025 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි. සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට පොරතුව අද (16 වැනිදා) ගාල්ලේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් එසේ කියා සිටියේය. 

“ඇත්තම කියනවා නම් මේක හරිම කණගාටුදායක තත්ත්වයක්”
“වසර 2008 සිට මේ දක්වාම ශ්‍රී ලංකාව අවුරුද්දකදී ටෙස්ට් තරග 4 ක් විතරක් ක්‍රීඩා කරන්නේ මේ අවුරුද්දේදී. ඒක හරිම කණගාටුදායක තත්ත්වයක්”

“මේ තරුණ ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් ටෙස්ට් ක්‍රිකට් තරග ඉල්ලනවා.... ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල්කඩ තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව. ඒ හින්දා අපි ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් වැඩි වැඩියෙන් උනන්දු වෙන්න ඕනේ” යයි මැතිව්ස් කීවේ ක්‍රීඩකයන්ට නොවේ. 

ක්‍රීඩකයන්ට ටෙස්ට් තරග ඉල්ලාගත නොහැකි බව ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා හොඳින්ම දනී. එය, ටෙස්ට් තරග 118 කට පසුව, ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන මැතිව්ස්, ක්‍රිකට් ක්‍රීඩාවේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉලක්ක කරමින් කී කතාවකි.  

“අපි ටෙස්ට් ක්‍රිකට් තරග වැඩි වැඩියෙන් ඉල්ලන්න ඕනේ. මොකද මේ තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ උනන්දු වෙනවා.”

“මා හිතන්නේ අඩුම තරමේ වසරකට ටෙස්ට් තරග 10 ක් වත් තියෙනවා නම් හොඳයි” යයි මැතිව්ස් කීවේ ක්‍රීඩා පිටියේදී එකම කාමරය බෙදා හදාගන්නා ක්‍රීඩකයන් 15 ක් 18 ක් දෙනා ගැන හොඳින්ම දන්නා බැවිනි. ඔවුනොවුන්ගේ හද ගැස්ම දන්නා බැවිනි. 

“එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව වගේ රටවල් අවුරුද්දකට ටෙස්ට් තරග 15 ක් විතර ක්‍රීඩා කරනවා. ඉතිං අපට බැරි ඇයි...?, අපිටත් පුළුවන්...අපි ඒ වෙනුවෙන් කිසියම් බලපෑමක් කරනවා නම්...”

“අපි ඇත්තටම ඒ බලපෑම කරන්න ඕනා තමයි” යයි මැතිව්ස් කීවේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ දෑස් විවර කරමිනි. 

වසර 2025 - 2027 ටෙස්ට් චක්‍රයේදී ශ්‍රී ලංකාවට ඇත්තේ තරගාවලි 6 කි. ඒවායින් බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලි එම රටවලදී පැවැත්වීමට නියමිතය. එහෙත් වසරකදී ටෙස්ට් තරග 4 ක් පමණක් ක්‍රීඩා කිරීමෙන් ක්‍රීඩකයන්ගේ උනන්දුව රඳවාගත නොහැකි බව හිටපු නායකයා හොඳින්ම දනී. 

“අපි ලෝක කුසලාන දිනලා තියෙනවා. තවත් කුසලාන දිනලා තියෙනවා.... ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපි බොහෝ දේවල් කරලා තියෙනවා....”

“ඒ නිසා ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තය ක්‍රීඩා කරන තරමටම අපිටත් ටෙස්ට් තරග ලැබිය යුතුයි” මැතිව්ස් වැඩිදුරටත් කීවේය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භ කරන්නේ 2019 දී එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර බර්මින්හැම් නුවරදී පැවැති තරගයකිනි. එහි දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්විණ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භ කිරීමට වසර 20 කට පොරතුව, 1999 දී, ආසියානු ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කෙරිණ. ඒ එවකට ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා ව සිටි තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වයෙනි. 

වසර 2002 දී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ටෙස්ට් ශූරයන් වූ අතර එක දිගට ටෙස්ට් තරග 9 ක් ජයගැනීමට ද සමත් විය. 


අදහස් (3)

මැතිව්ස් ක්‍රිකට් ලොක්කන්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනී
  • අජිත් Tuesday, 17 June 2025 09:46 PM

    සූදු ශම්මි ඉන්නකන් ඕවා කරන්න බැහැ...

    Reply 0       0

    Ethige samith madushanka silva Tuesday, 17 June 2025 10:48 PM

    මේ අයට රටක් ඕනෙ නෑ... සල්ලි විතරයි... ඒකයි ක්‍රීඩාව බල්ලට ගියේ. තවත් සුපිරි ක්‍රීඩකයන් ඉන්නවා. දේශපාලනය ක්‍රීඩාව කෑවා...

    Reply 0       0

    Anjana Gunwardana Wednesday, 18 June 2025 02:08 PM

    සියයට 100ක් නිවැරැදියි.. අපිට ටෙස්ට් මැච් ගොඩක් අවශ්‍යයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.