Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් - චමීර ඉන්දියාවට කැඳවති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

මැතිව්ස් - චමීර ඉන්දියාවට කැඳවති

editorial - 2023 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..)

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයන් ලෙස එක්කර ගැනීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දියාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි එහි සභාපති ‍ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.

ලක්නව් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය නිමාවීමෙන් අනතුරුව ඔහු ඒ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ප්‍රමෝද්‍ය මහතා සඳහන් කළේ මැතිව්ස් සහ චමීර කැඳවීම සඳහා මේ වන විට අදාල පාර්ශවයන්ගේ අනුමැතිය හිමිවී ඇති බවත්, ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත බවත්ය.

හෙට දිනයේදී (20 වැනිදා) මැතිව්ස් සහ චමීර ඉන්දියාවට පැමිණීමට නියමිත වුවත්, ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව කී ප්‍රමෝද්‍ය මහතා, ඒ පිළිබඳව එළබෙන සෙනසුරාදා (21 වැනිදා) අවසන් තීරණයකට එළඹෙන බවද වැඩිදුරටත් කියා සිටියේය.

“අතිරේක ක්‍රීඩකයො විධියට එයාල සංචිතයට එකතු වුණාට, එකපාරම එයාලට කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැහැනෙ. ඒකට සංචිතයෙ ඉන්න 15 දෙනාගෙන් කවුරුහරි ආබාධකට ලක්වෙලා සංචිතයෙන් ඉවත් වෙන්න ඕන. දැනට සංචිත‍යෙ ආබාධයකට ලක්වුණ ක්‍රීඩකයකුට ඉන්නෙ මතීෂ පතිරණ විතරයි.” යැයිද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

එක්දින ජාත්‍යන්තර තරග 221 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස්, එහිදී ශතක 3 ක් සහ අර්ධ ශතක 40 ක් සමග ලකුණු 5865 ක් රැස්කරමින් කඩුලු 120 ක් බිඳහෙළා ඇත. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 41.01 ක් ලෙසත්, කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 33.35 ක් ලෙසත් සටහන් වේ. දුෂ්මන්ත චමීර එක්දින තරග 44 කදී කඩුලු 50 ක් බිඳහෙළා ඇත්තේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 33.16 ක අගයක් රඳවාගනිමිනි.

ඉකුත් අගෝස්තු මාසයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග 11 කට ක්‍රීඩා කළ මැතිව්ස් ලකුණු 210 ක් රැස්කරමින් කඩුලු 7 ක් දවාගත්තේ එහි ශූරතාව දිනාගැනීම සඳහා බී-ලව් කැන්ඩි කණ්ඩායමට අනගි දායකත්වයක් දෙමිනි. ආබාධයකට ලක්වීම හේතුවෙන් ‍මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 4 කට පමණක් ක්‍රීඩා කළ චමීරට එහිදී දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි.

මේ වන විට සහභාගි වූ තරග තුනේදීම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම වැටී ඇති අතර ඔවුන් සහභාගිවන මීළඟ තරගය නෙදර්ලන්තයට එරෙහිව එළබෙන සෙනසුරාදා (21 වැනිදා) දිවා තරගයක් ලෙසින් ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතය.


අදහස් (0)

මැතිව්ස් - චමීර ඉන්දියාවට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.