Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් - චන්දිමාල් ඇෆ්ඝනිස්ථානුවන්ට තලති
එස්.එස්.සී. ටෙස්ට් තරගය

මැතිව්ස් - චන්දිමාල් ඇෆ්ඝනිස්ථානුවන්ට තලති

editorial - 2024 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කජු කිරි කොල්ලන් වන ඇෆ්ඝනිස්ථානුවන් අල්ලා තලා දැමූ ඇන්ජලෝ මැතිව්ස් (141) සහ දිනේෂ් චන්දිමාල් (107) එක්ව එස්.එස්.සී. පිටියේදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ලකුණු 232 ක් වූ, සිව්වැනි කඩුල්ල සඳහා වන මෙම වාර්තාගත සම්බන්ධතාව මත සිටිමින් තවත් ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (03 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 212 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන තිබිණ. 

දිනයේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 410 ක් ලබා තිබුණද ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය අවාසනාවන්ත අකාරය ශ්‍රී ලංකා කණ්ඩායමට කණස්සල්ල එකතු කළේය. කායිස් අහමඞ්ගේ ඉතාමත් දුර්වල පන්දුවක් ‘ස්වීප්’ පහරකින් හතරේ සීමාවට යැවූ ඇන්ජලෝගේ පිත්ත ඔහුගේ පාලනයෙන් ගිළිහී ගොස් කඩුල්ලේ වැදීම නිසා, පැය හයකට ආසන්න වූ මැතිව්ස්ගේ මැරතන් ඉනිම නිමාවට පත්විය. 

විනාඩි 343 ක් පුරා පන්දු 259 කට මුහුණ දුන් මැතිව්ස්, හතරේ පහර 14 කින් සහ දැවැන්ත හයේ පහර 3 කින් තම පිතිහරඹය අලංකාර කළේය. 

ලකුණු 148 දී තුන්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව එක්වූ මැතිව්ස් සහ චන්දිමාල් දෙදෙනා ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නන්ගේ බවුන්සර් පන්දු වරුසාවකින් ගැලවුණේ දෙදෙනා තුළම තිබූ පරිණත අත්දැකීම් හේතුවෙනි. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් විනාඩි 258 කදී ලකුණු 232 ක් එක්කළ පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාව බිඳී ගියේ දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුවය. 

නවීඞ් සද්රාන්ගේ පන්දුවක් චන්දිමාල්ගේ පිත්තේ යාන්තමින් ගෑවී, කඩුලු රකින්නා අත පතවීමට පෙර, යුද හමුදා මේජර් වරයා පන්දු 181 කදී හතරේ පහර 10 ක් සහ දැවැන්ත හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර තිබිණ. 

ලකුණු 71 ක් ලබා සිටියදී චන්දිමාල් දවාගත්තේ යයි සියා උර් රෙහෙමාන් කළ ප්‍රබල ඉල්ලීමක් තුන්වැනි විනිසුරුවරයා වෙතින් ද නිෂ්ප්‍රභා විය. පන්දු දෙකකට පසුව චන්දිමාල්ගේ පිළිතුර වූයේ ප්‍රේක්‍ෂකාගාරයක වහළය මතට ගැසූ දැවැන්ත හයේ පහරකි. 

අත්දැකීම් මදි යයි කී නමුත් ශ්‍රී ලාංකික පිතිකරුවන් සඳහා පිටිය සකස් කිරීමේදී නම් ඒ බවක් පෙන්නුම් නොකළ ඇෆ්ඝනිස්ථානුවෝ සාර්ථක තරගයක යෙදෙමින් සිටියහ. එහෙත් දිවා ආහාරයෙන් පසුව පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගත් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට  ලකුණු 89 ක වාසියක් අත්කර දී තිබිණ. 

ඇන්ජලෝ මැතිව්ස් අද ලබාගත්තේ ඔහුගේ 16 වැනි ටෙස්ට් ශතකයයි. චන්දිමාල්ට සිය 15 වැනි ශතකය විය. 
ඇෆ්ඝනිස්ථානු පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමේදීත් ඔවුන් අනුගමනය කරන උපක්‍රමද දුර්වල නොවේ. නිෂාන් මධුෂ්ක කිසිවිටෙකත් අපේක්‍ෂා නොකළ මොහොතක, ලෙග් ස්ලිප් හි ක්‍රීඩකයකු රැඳවූ ඇෆ්ඝනිස්ථානු නායකයා, තමන්ගේ වේග පන්දු යවන්නන්ට පා ඉන්න එල්ලයේ කෙටි පන්දු යවන්නයි උපදෙස් දුන්නේය. 

ප්‍රතිඵලය වූයේ ලෙග් ස්ලිප් හි සිටි නූර් අලී සද්රාන් රැකගත් උඩපන්දුවක් නිසා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මධුෂ්කගේ ඉනිම ලකුණු 37 දී නිමා වීමයි. ඒ සමගින් දිමුත් කරුණාරත්න සහ මධුෂ්ක අතර පැවැති ලකුණු 93 ක සම්බන්ධතාව බිඳී ගියේය. 

කුසල් මෙන්ඩිස් පිටියට පැමිණීමටත් පෙරම, පා ඉන්න පැත්තේ පන්දු රැකින්නන් පුරාවා දැමූ ඇෆ්ඝනිස්ථානුවෝ තවත් කෙටි පන්දුවකින් ඔහුගේ ඉනිම ලකුණු 10 කට සීමා කරගත්හ. 

පා ඉන්න පැත්තේ ක්‍රීඩකයන් ගොන්නක් සිටියදී, තම සීමාවෙන් ඉදිරියට පැමිණ පන්දුව පිත්තටම ලබාගත් දිමුත් කරුණාරත්න ගැසූ පහරින් ඉගිළුණු පන්දුව ෂෝට් මිඞ් විකට් හි සිටි ඊබ්‍රහිම් සද්රාන්ගේ දෑත් අතර සැඟවී ගියේ හිටපු නායකයාගේ පිතිහරඹය විනාඩි 157 කින් නිමා කරමිනි. පන්දු 72 කට මුහුණ දී තිබූ කරුණාරත්න ඒවායින් 12 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. 


අදහස් (0)

මැතිව්ස් - චන්දිමාල් ඇෆ්ඝනිස්ථානුවන්ට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.