Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැක්ස්වෙල්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාවට ජය

මැක්ස්වෙල්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාවට ජය

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්ලේන් මැක්ස්වෙල්ගේ (නොදැවී 104) ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දියාවට එරෙහිව ගුවහටිහිදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව ඊයේ (28  වැනිදා) සමත් විය. ඕස්ට්‍රේලියාව මෙම තරගය ජයගත්තද, තරග 5 කින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටියි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ, අවසන් පන්දුවේදී ඉලක්කය පසුකර ගියේය. ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ඕස්ට්‍රේලියානුවන් ලකුණු 21 ක් ලබාගත යුතුව තිබූ අතර හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග එම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට මැක්ස්වෙල් සහ නායක මැතිව් වේඞ් (නොදැවී 28) සමත් වූහ.

එහිදී පන්දු 48 කට මුහුණදුන් මැක්ස්වෙල් හයේ පහර 8 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 104 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය. එය මැක්ස්වෙල්ගේ සිව්වැනි විස්සයි-20 ශතකය වූ අතර එම ශතකයත් සමග ලොව වැඩිම විස්සයි-20 ශතක ලාභීන් අතර පෙරමුණ ගනිමින් රෝහිත් ශර්මා සමග සමවීමටද මැක්ස්වෙල්ට හැකිවිය.   

ලකුණු 68 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී මාකස් ස්ටොයින්ස් (17) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැක්ස්වෙල්, ඉන් නොනැවතී මැතිව් වේඞ් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 91 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, රුතුරාජ් ගයික්වාඞ්ගේ (නොදැවී 123) වේගවත් ශතකය හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 222 ක් ලබාගත්තේය. පන්දු 57 කදී වාර්තා වූ රුතුරාජ් මංගල විස්සයි-20 ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 13 ක් අන්තර්ඝත විය. 

තිලක් වාර්මා (නොදැවී 31) සමග එක්ව ඉන්දීය ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 141 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද රුතුරාජ් සමත් විය. පන්දු 34 කදී වාර්තා වූ තිලක්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර නායක සූර්යකුමාර් යාදව් පන්දු 29 කින් ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.   


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 3 කට 222 
(රුතුරාජ් ගයික්වාඞ් නොදැවී 123, සූර්යකුමාර් යාදව් 39, තිලක් වර්මා නොදැවී 31) 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 5 කට 225 
(ට්‍රැවීස් හෙඞ් 35, ඒරන් හාඩි 16, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 104, මාකස් ස්ටොයිනිස් 17, රවී බිෂ්නොයි 32/2) 

-036 


අදහස් (0)

මැක්ස්වෙල්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.