Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාස 18 කට පසුව මලල ක්‍රීඩා කණ්ඩායම පිටියට

මාස 18 කට පසුව මලල ක්‍රීඩා කණ්ඩායම පිටියට

editorial - 2021 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම - (වමේ සිට) මේධානි ජයමාන්න, ෂෙලින්ඩා ජෑන්සන්, පාතිමා යමික් සහ අමාෂා ද සිල්වා.

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘පතියාලා’ නගරයේදී හෙට (25) ආරම්භ වන 60 වැනි ඉන්දීය අන්තර් ප්‍රාන්ත (ජ්‍යෙෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (23) පෙරවරුවේදී දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක්  විදේශීය මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වන්නේ වසර එක හමාරකටත් වැඩි කාලයකට පසුව වීමයි.

වසර 2020 මාර්තු මාසයේ සිට ලොව පුරා උද්ගතව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික මලල ක්‍රීඩා තරග සංවිධානය අත්හිටුවා තිබිණ.  වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙල ඔවුන්ගේ අවසන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගය විය.

පන්ජාබ් ප්‍රාන්ත තරගාවලිය උතුරු ඉන්දියාවේදී පැවැත්වුණත්, ශ්‍රී ලංකා කණ්ඩායමට දීර්ඝ ගුවන් ගමනකින් පසුව පතියාලා නුවරට ළඟාවීමට සිදුව තිබේ. ඊයේ පෙරවරු 10.00 ට කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගිය  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දෝහා කටාර්, නවදිල්ලිය, චන්දිගාර් යන නගර හරහා ‘පතියාලා’ නගරයට සේන්දුවීමට නියමිතය. නවදිල්ලියේ සිට ගුවන් මගින් චන්දිගාර් නුවරට ළඟාවන ශ්‍රී ලංකා කණ්ඩායම, එතැන් සිට පැය කිහිපයක බස් ගමනකින් පසුව ගමනාන්තයට පිවිසීමට නියමිතය.

සමස්ත ඉන්දීය ජාතික මලල ක්‍රීඩා සංගමයේ ඇරයුමින් මෙම සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට මීටර 100x4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම ද ඇතුළත් වේ.

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් මීටර් 100x4 කාන්තා සහාය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වූ අමාෂා ද සිල්වා හා ලක්ෂානි සුගන්ධි මෙම පන්ජාබ් තරග සංචාරයේදීත් සහාය දිවීමේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. එහෙත් ලක්ෂානි සුගන්ධි පන්ජාබ් තරගාවලියට එක්වී ඇත්තේ අතිරේක ක්‍රීඩිකාව ලෙසිනි.  ශ්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම තරග වදින මීටර 100x4 කාන්තා අවසන් තරගය යෙදී ඇත්තේ ලබන සඳුදා (28) රාත්‍රී 7.00 ටය.

කසකස්තාන තරග සංචාරයට සහභාගි වීම අසාර්ථක වීමෙන් පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පතියලා තරගාවලියට සහභාගි වීමේ  වැදගත්කම වන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සුදුසුකම් කඩඉමට ආසන්න වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා උත්සාහ දැරිය හැකි එකම අවස්ථාව බවට එය පත්ව තිබෙන නිසාය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකුගේ කණ්ඩායමක් නිර්දේශ කළත්, පසුව එය 10 දෙනකුට සීමා කිරීමට ජාතික ක්‍රීඩා සභාව තීරණය කළේය.

පතියාලා නගරයට ළඟාවන ශ්‍රී ලංකා කණ්ඩායමට නිරෝධායන කාලයකට අවස්ථාවක් නොමැති බැවින් කෙළින්ම තරගාවලියට සහභාගි වීමට සිදුව තිබේ. මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ මෙම තරගාවලියේදී පළමුවෙන් තරග වදින ශ්‍රී ලාංකිකයායි.  මීටර 400 පිරිමි ඉසව්වේ මූලික තරග වටය හෙට පැවැත්වේ.

සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම (පිරිමි) මූලික වටයේ තරග සඳහා සෙනසුරාදා (26) සහභාගි වේ. එහිදී තනි ඉසව් සඳහා තරග වදින සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අතරින් නිමාලි ලියනආරච්චි මීටර 800 (කාන්තා) මූලික තරග සඳහා ඉරිදා (27) සහභාගි වීමට නියමිතය. නදීෂා රාමනායක මීටර 400 (කාන්තා) ඉසව්වට තරග වදින්නේ ද ලබන ඉරිදා දිනයේදීය.

ටෝකියෝ ඔලිම්පික් කඩඉමට ඉතා ආසන්න වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලානි රත්නායක සිය ඉසව්වට තරග වදින්නේ තරගාවලිය නිමාවට පත්වන ලබන අඟහරුවාදා (29) දිනයේදීය. අමාෂා ද සිල්වා, ෂෙලින්ඩා ජැන්ෂන්, පාතිමා යමික් හා ඉරේෂා මේධානි ජයමාන්න සඳුදා තරග වදින ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමයි.

විමුක්ති සොයිසා හා සුජිත් අබේසේකර යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස මෙම තරග සංචාරයට එක්ව සිටිති.

ඉන්දිය අන්තර් ප්‍රාන්ත තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නිල ඇඳුම් සපයන්නන් වශයෙන්  ‘බිලීව්’ වෙළෙඳ නාමය යටතේ සිලෝන් ස්පෝට්ස් ආයතනය ඉදිරිපත්ව සිටියි. 


අදහස් (0)

මාස 18 කට පසුව මලල ක්‍රීඩා කණ්ඩායම පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.