
ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණු උපදේශකවරයා ලෙසින් ලසිත් මාලිංග පත්කර තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී පැවැති සිම්බාබ්වේ සංචාරයට පෙර, ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වූවත් ඒ නිල වශයෙන් නොව, ක්‍රීඩකයන්ට උපකාර කිරීමේ අදහස ඇතිවය.
ලසිත් මාලිංග නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයට කැඳවීමේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර ඔහුගේ දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන් සමගින් බෙදා ගැනීමයි. කෙසේ වෙතත් මාලිංගගේ පත්වීම දෙසැම්බර් 15 වැනිදා සිට ජනවාරි 25 දක්වා ක්‍රියාත්මක වන දින 40 ක කාලසීමාවකට යටත් වන්නකි.
මාලිංග මීට පෙර දෙවරක්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස නිල වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු වසර ගණනාවක් පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වේග පන්දු යවන්නන් සමඟ නිල නොවන ලෙස කටයුතු කළේය. ඉනිම අග්ගිස්සේ (16 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා) පන්දු යැවීම සම්බන්ධයෙන් මාලිංගගේ සහාය වැඩි වශයෙන් බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන්, පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 20 ක් සහභාගි වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ඇතුළත් ‘බී’ කාණ්ඩයට ඕස්ටේ්‍රලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ද ඇතුළත් වෙති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.