Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංග විස්සයි20 පිටියෙන් සමුගනී

මාලිංග විස්සයි20 පිටියෙන් සමුගනී

editorial - 2021 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)  

තමා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග අද (14 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. 2011 වසරේදී ටෙස්ට් තරගවලින් සමුගත් මාලිංග, 2019 වසර්දී එක්දින තරගවලින්ද සමු ගත්තේය. විස්සයි20 තරගවලින් සමුගැනීම ප්‍රකාශයට පත්කරන විට ඔහු 38 වැනි වියේ පසුවිය.

 "අද මට හුඟක් විශේෂ දවසක්. මගේ විස්සයි20 තරග දිවිය පුරා මට නොයෙක් අයුරින් උදව් කළ සියලුම දෙනාට මම ස්තූතිවන්ත‍ වෙනවා. අද මම විස්සයි20 තරග රටාවෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීමට තීරණය කළා." යැයි සිය යූ ටියුබ් නාළිකාව ඔස්සේ සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් මාලිංග පැවසීය.

 "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම මුම්බායි ඉන්දියන්ස්, මෙල්බර්න් ස්ටාර්ස්, කෙන්ට්, රාංපූර් රයිඩර්ස්, ගයානා වොරියර්ස් සහ මරාතා වොරියර්ස් සහ මොන්ට්‍රෙල් ටයිගර්ස් යන කණ්ඩායම්වලට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මම කැමතියි ඉදිරියේදී තරුණ ක්‍රීඩකයන් සමග මගේ අත්දැකීම් බෙදාගන්න." යැයිද එහිදී මාලිංග සඳහන් කළේය.

ටෙස්ට් සහ එක්දින තරගවලින් සමුගැනීමෙන් අනතුරුව දිගින් දිගටම විස්සයි20 තරග සඳහා ක්‍රීඩා කළ මාලිංගට, 2020 වසරේ මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව මාලිංගට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගිවන ලෙස ආරාධනා කර සිටියද, ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සංචිතය නම් කරන තෙක්ම ඔහුට යළි ජාතික කණ්ඩායමට කැඳවීමක් නොලැබිණ.

විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී කඩුලු 107 ක් දවාගත් මාලිංග, ජාත්‍යන්තර විස්සයි-20 තරගවලදී කඩුලු 100 සීමාව පසුකර ගිය පළමු ක්‍රීඩකයාද විය. 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලෙකැළේදී පැවැති තරගයකදී පිටම යවන ලද පන්දු 4 කදී දවාගත් කඩුලු 4 ක්ද සමග ලකුණු 6 කට කඩුලු 5 ක් බිඳහෙළීම මාලිංගගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය.

ඊට අමතරව 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 31 කට කඩුලු 5 ක් බිඳහෙළීමටද මාලිංග සමත් විය. තරගයකදී කඩුලු 4 බැගින් දවාගත් අවස්ථාවකින් සහ කඩුලු 3 බැගින් දවාගත් අවස්ථා 9 කින් මාලිංගගේ විස්සයි20 ක්‍රීඩා දිවිය සමන්විත වූ අතර 2017 වසරේ ‍අප්‍රේල් මස බංග්ලාදේශයට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වයක්ද ඊට ඇතුළත් විය.  

ඉන්දීය ප්‍රීමියර් ලීග්, බිග් බෑෂ් ලීග්, කැරිබියන් ප්‍රීමියර් ලීග් වැනි ලොව පුරා විස්සයි20 තරග 295 කදී කඩුලු 390 ක් දවාගත් මාලිංගගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 19.68 කි.  ඔහු විස්සයි20 පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන අතර ඩ්වේන් බ්‍රාවෝ, ඉම්රාන් තාහීර් සහ සුනිල් නරේන් එම  ලැයිස්තුවේ මාලිංගට ඉදිරියෙන් සිටිති.

 2009 සහ 2012 වසරවලදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලින්හිදී අනු ශූරතාව හිමිකරගත් කණ්ඩාම්වල සාමාජිකයකු වූ මාලිංග, 2014 වසරේදී පැවැති විස්සය20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙසද කටයුතු කළේය. ලෝක ශූරතාව දිනාගැනීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් විය.

 

 


අදහස් (0)

මාලිංග විස්සයි20 පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.