Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේල ඉන්දීය පුහුණුකරු තනතුර එපා කියයි

මහේල ඉන්දීය පුහුණුකරු තනතුර එපා කියයි

editorial - 2021 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව රවී ශ්‍රාස්ත්‍රී ඉවත්වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ජාතික කණ්ඩායමට පුහුණුකරුවන් සොයමින් සිටී. ලෝකයේ ඕනෑම පුහුණුකරුවකු බලාපොරොත්තු වන ඉන්දිය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාරගන්න’යි මහේල ජයවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මහේල ජයවර්ධන මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ වෙනුවෙන් වසර 4 කට පමණ පෙර සිටි පුහුණුකරුවා වූ අනිල් කුම්බල් මහතා ඉන්දීය කණ්ඩායමේ මීළඟ පුහුණුකරුවා ලෙසින් පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

“ඒ කතා ගැන නම් මොකක්වත් කියන්න මම දන්නේ නෑ. අනෙක මම අවුරුදු 18 ක් (1997 සිට 2015 දක්වා) අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා හිටියේ. මම කීයටවත් ජාතික කණ්ඩායමක් බාර ගන්නේ නෑ” යයි අද පස්වරුවේදී ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහේල ජයවර්ධන මහතා පැවසීය.

මේ වන විට අබුඩාබි සිට පුහුණුවීම් කරන මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන මහතාගෙන් අද පස්වරුවේ තොරතුරු විමසන අවස්ථාවේදීත් ඔහු පුහුණුවීම් වෙත යමින් සිටියේය.  

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන ‘ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තාකර තිබුණේ ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර අනිල් කුම්බල් වෙත පිරිනැමීමට පොරතුව මහේල ජයවර්ධන මහතා වෙත පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සූදානම් වූ බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වීමට කැමැත්තෙන් සිටින බැවින් මහේල ජයවර්ධන මහතා ඉන්දීය තනතුර ප්‍රතික්ෂේප කළ බවත් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තා කළේය.

ඉන්දීය  ක්‍රිකට් පාලක මණ්ඩලයේ තවත් කොන්දේසියක් වන්නේ ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ නම් වෙනත් කොන්ත්‍රාත්තු බාරගත නෙහැකි වීමයි. ඉන්දීයාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය වාර්තා කරන ආකාරයට අයි.පී.එල්. තරගාවලියේදී පුහුණුකරුවකු වීමට වැඩි නැඹුරුවක් දක්වන මහේල ජයවර්ධන මහතා ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ.

මුම්බායි ඉන්දියන්ස් පිලේ පමණක් නොව, එංගලන්තයේ සදර්න් බ්‍රේව් කණ්ඩායමේත් පුහුණුකරුවා වන මහේල ජයවර්ධන මහතා සති කිහිපයකට කලින් (අගෝස්තු මාසයේදී) පළමු වතාවට පැවැති ‘සියය’ (ද හන්ඩ්‍රඞ්) තරගාවලියේ ශූරතාවත් තම කණ්ඩායමට දිනා දුන්නේය. වසර 4 ක් තිස්සේ මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරුවා වන මහේල ජයවර්ධන මහතා අයි.පී.එල්. කුසලාන 3 ක් සහ අනුශූරතාවක්ද මුම්බායි ඉන්දියන්ස් පිලට දිනාගැනීමට ගුරුහරුකම් දී තිබේ.

සිය ක්‍රීඩා දිවියේදී ටෙස්ට් තරග 149 කට ක්‍රීඩා කරමින් ලකුණු 11,814 ක් ලබා ඇති මහේල ජයවර්ධන, එක්දින තරග 448 කට ක්‍රීඩා කරමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 12,650 කි. විස්සයි-20 අන්තර්ජාතික තරග 55 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 1493 කි.

ක්‍රිකට් ක්‍රීඩාවේදී මහේල ජයවර්ධන මහතා සතු සුවිශේෂී දැනුමත්, පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් පුහුණුකිරීමේදී ඔහු දක්වන විශිෂ්ට කුසලතාවත් හේතුවෙන් රවී ශාස්ත්‍රී මහතාගෙන් පසුව ඉන්දීය පිලේ පුහුණුකරුවා වීමට සුදුස්සා මහේල ජයවර්ධන මහතා බව ඉන්දීය ජාතිකයන් අතරේ කතාබහක් නිර්මාණය වෙමින් පැවතිණ.

අද සවස කළ විමසීමේදී ජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේ තමන්ගේ සම්පූර්ණ දිවියම සංචාරය වෙනුවෙන් කැපකිරීමට බලාපොරොත්තු නොවන බවත්, තමන් කරන කාර්යය සම්බන්ධයෙන් තෘප්තියක් ලබන අතරම පවුලේ අය වෙනුවෙන් සාධාරණ කාලයක් වෙන්කිරීම තමන්ගේ අපේක්‍ෂාව බවත්ය.

මහේල එක්දරු පියකු වන අතර ඔහුට දියණියක් සිටී. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කිරීමට මහේල ජයවර්ධන මහතා බලාපොරොත්තුවෙන් සිටී.

වසර 2017 දක්වා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් සිටි අනිල් කුම්බල් මහතාගේ ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් විරාට් කෝලි තුළ පැවැති ප්‍රතිවිරෝධතා හේතුවෙන් 2017 දී කුම්බල් මහතා සිය කැමැත්තෙන්ම තනතුරෙන් ඉවත් විය. අනිල් කුම්බල් මහතා මේ වන විට පන්ජාබ් කිංග්ස් පිලේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.

ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් රවී ශාස්ත්‍රී මහතාගේ කාලය ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වනු ඇත. ඔහු සිය තනතුර වෙනුවෙන් සේවා දිගුවක් නොඉල්ලයි.

 


අදහස් (0)

මහේල ඉන්දීය පුහුණුකරු තනතුර එපා කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.