Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේල - මැතිව්ස් - තිරිමාන්න ශ්‍රී ලංකාව දිනවති

මහේල - මැතිව්ස් - තිරිමාන්න ශ්‍රී ලංකාව දිනවති

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 18 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර බර්මින්හැම් නුවරදී අද (3 වැනිදා) පැවැති පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී ලකුණු 220 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 10 ක් ඉතිරිව තිබියදීම ජයටැඹ පසුකර යමින් කඩුලු 6 කින් තරගය ජයගත්තේය. මෙම ජයත් සමගින් එක්දින තරගාවලිය 3-2 ක් ලෙසින් ජයගැනීමටද ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ශ්‍රී ලංකා ඉනිමේ 3 වැනි කඩුල්ල ලකුණු 62 දී බිඳ වැටීමෙන් පසුව එක්වූ මහේල ජයවර්ධන (53) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 60) එංගලන්ත පන්දු යවන්නන් හමුවේ කඩා වැටීමට ගිය ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක් ගසමින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එක්කරමින් ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් තබාගත්හ.

එහෙත් ක්‍රිස් ‍ජෝර්ඩ්න්ගේ පන්දුවකින් මහේල ජයවර්ධන දැවී යාමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පීඩනයට ලක්වූ නමුත් නායක ඇන්ජලෝ මැතිව්ස් සමග එක්වූ තිරිමාන්න පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ඕවර 7.1 කදී ලකුණු 55 ක් එක්කළ නමුත් සිය දෙවැනි පන්දුවෙන්ම ඩිල්ෂාන්ගේ ඉනිම නිමාකළ ජේම්ස් ට්‍රෙඩ්වෙල් එයින් පන්දු 10 කට පසුව කුමාර් සංගක්කාරගේ ඉනිමද ලකුණු 2 කට සීමා කළේය. එහෙත් ශ්‍රී ලංකා පිලේ සෙසු පිතිකරුවන් නතර කිරීමේ උපායන් එංගලන්ත නායකයා සතු නොවීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 48.1 ක් අවසානයේදී ලකුණු 219 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් අප‍ේක්ෂිත ඉලක්කය කරා එංගලන්ත පිතිකරුවන් යාම අවහිර කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ.

තම පන්දු යවන්නන් ඉතාමත් සාර්ථකව යොදාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් පියවර ගත් අතර අවස්ථා කිහිපයකදී පන්දු යැවීමට පැමිණි ලසිත් මාලිංග ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සිවුදෙනා වන අජන්ත මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, තිලකරත්න ඩිල්ෂාන් සහ අශාන් ප්‍රියන්ජන් එක්ව යවන ලද ඕවර 28 දී  ඉතාමත් සාර්ථක ආකාරයෙන් එංගලන්ත පිතිකරුවන් පාලනය කරමින් ඔවුනට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 121 ක් පමණි. ඔවුන් අතුරින් විශිෂ්ට දස්කම් දැක්වූ සේනානායක, පන්දුව දමාගසන්නේය යන චෝදනාවට අභීතව මුහුණ දෙමින්ම, තමාගේ ඕවර 10 දී එංගලන්ත පිතිකරුවන් ලකුණු 36 කට සීමා කරමින් එංගලන්ත නායකයාගේ ඉනිම ලකුණු 56 කින් නතර කළේය.

නායක ඇලිස්ටෙයාර් කුක් එංගලන්ත පිල වෙනුවෙන් සුපුරුදු නැංගුරම දමාගනිමින් ලකුණු 56 වෙනුවෙන් පන්දු 85 කට මුහුණ දුන් අතර එවායින් 3 ක් හතරේ සීමාවට යවා තිබිණ.

සචිත්‍ර සේනානායක විසින් ජොස් බට්ලර් දවාගත් ආකාරය පිළිබඳව දැඩි විවේචන එල්ල විය හැකි නමුත් පිතිකරුවාට දෙවරක්ම අවවාද කළ සේනානායක, තුන්වැනි අවස්ථාවේදී ගත් පියවර සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරිය නොහැක. එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල තත්ත්වයක් වන හෙයින් විනිසුරුවරයාටද දැවී යාම අනුමත කිරීම හැර වෙනත් යමක් කළ නොහැකි විය.

කෙසේ වෙතත් බට්ලර්ගේ දැවී යාම තමන් අපේක්ෂා කරන්නේද යන්න ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විමසා සිටීමට තරම් විනිසුරුවරයා පිතිකරුවා කෙරෙහි කරුණාවන්ත විය.

ඉනිමේ 42 වැනි ඕවරය යවමින් සිටි සේනානායක, පන්දු යවන්නාගේ අන්තයේ සිටි ජොස් බට්ලර් පන්දුව යැවීමට පෙර තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණෙනු දුටු හෙයින් දෙවතාවක්ම පන්දුව යැවීමෙන් නතර විය. ඒ සම්බන්ධයෙන් විනිසුරුවරයාටද දැනුම් දුන්නේය.

එහෙත් 44 වැනි ඕවරය යවමින් සිටි සේනානායකට එංගලන්ත කඩුලු රක්නාගේ අසාධාරණ වාසිය තවත් ඉවසා සිටිය නොහැකි වූ හෙයින් එම ඕවරයේ දෙවැනි පන්දුවේදී බට්ලර්ගේ 'වැට පැනීම' අවසන් කිරීමට සිදු විය.

නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග  කිසියම් සැලසුමක් ඇතිව, එල්ලයකට පන්දු යවමින් එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පාලනය කිරීමට සමත් වූ වත් 9 වැනි ඕවරයේදී මහේල ජයවර්ධන වෙතින් ගිළිහී ගිය උඩපන්දුව නිසා ඉයන් බෙල්ට වාසනාව පෑදිණ.

ඕවර 8.3 ක් අවසානයේදී ලකුණු 34 ක් පමණක් ලබා සිටි එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවා අඩමානයට ගැසූ ඩ්‍රයිව් පහරකින් ඉහළ ගිය පන්දුව මිඩ් විකට්හි සිටි මහේල ජයවර්ධනට රැකගත හැකිව තිබුණද ඔහු වෙතින් එය ගිළිහී ගියේය. ප්‍රතිඵලය වූයේ කුලසේකරගේ ඊළඟ පන්දු දෙකටම ඉයන් බෙල් හතරේ පහර දෙකකින් සංග්‍රහ කිරීමයි

කෙසේ වෙතත් බෙල් ලකුණු 37 ක් ලබා සිටියදී දවාගැනීමට අජන්ත මෙන්ඩිස් සමත් වූ අතර ගැරී බැලන්ස්ගේ ඉනිම ලකුණු 10 කට සීමා කිරීමට ලසිත් මාලිංගට හැකි විය.

අශාන් ප්‍රියන්ජන් හමුවේ රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට උත්සාහ කළ ජෝ රූට් කඩුල්ල මුවා කළ බවට පන්දු යවන්නා ඉල්ලීමක් කරද්දී කඩුලු රැකි සංගක්කාරගේ ඉල්ලීම වූයේ උඩපන්දුවක් වෙනුවෙනි. ඉල්ලීම් දෙකම නිශ්ප්‍රභා වුවත් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට ස්තුති වන්නට රූට්ගේ ඉනිම ලකුණු 10 කට සීමා විය.

දෙපිලම සිවුවැනි එක්දින තරගයේදී තරග කළ කණ්ඩායම් වෙනස් කිරීමකින් තොරව මේ තරගය සඳහාත් නම්කර තිබෙන අතර පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සැකයක් ඇතැයි විනිසුරුවරුන් කීවද සචිත‍්‍ර සේනානායක අද තරගයටත් යෙදවීමට ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ.

තරගයේ නවතම තත්වය

ලකුණු පුවරුව

තරගයේ උණුසුම් අවස්ථා ...


අදහස් (18)

මහේල - මැතිව්ස් - තිරිමාන්න ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.