Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර පිතිකරුවෝ අණසක පතුරති
නැෂනල් සුපර් ලීග්

මහනුවර පිතිකරුවෝ අණසක පතුරති

editorial - 2022 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 8 වැනි තරගයේ පළමු දිනය (17 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි මහනුවර ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 297 ක් ලබා සිටියහ. .

පළමු දිනය සඳහා තරගය නතර කරන විට නායක කමිඳු මෙන්ඩිස් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 51 ක්ද, ළහිරු උදාර හතරේ පහරක් සමග නොදැවී ලකුණු 22 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව මහනුවර ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 62 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 58 ක් වන විට මහනුවර ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටිණ. මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ ලක්ෂාන් සඳකැන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 42 කට මුහුණදී සිටි ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක් ලබා සිටියේය.

කමිල් මිෂාර (74) සමග එක්ව මහනුවර ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඕෂධ ප්‍රනාන්දු (97) සමත් විය. පවන්ත වීරසිංහගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට මිෂාරගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.

හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු රැස්කළ ඕෂධට ශතකය පෙනි පෙනී සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ ලසිත් අබේරත්න අතට උඩ පන්දුවක් දීම හේතුවෙනි. මෙම තරගාවලියේදී ශතක 2 ක්ද ලබා සිටින ඕෂධගේ දෙවැනි අර්ධ ශතකය මෙය විය.


මහනුවර පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 297
(කමිල් මිෂාර 74, ලසිත් කෘස්පුල්ලේ 43, ඕෂධ ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් නොදැවී 51, ළහිරු උදාර නොදැවී 22, මාලින්ද පුෂ්පකුමාර 80/2)

 


අදහස් (0)

මහනුවර පිතිකරුවෝ අණසක පතුරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.