Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මතීෂ වෙනුවට මැතිව්ස් සංචිතයට කැඳවයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

මතීෂ වෙනුවට මැතිව්ස් සංචිතයට කැඳවයි

editorial - 2023 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද බෙංගලූරු නුවර සිට)

උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට කණ්ඩා‍යමේ කලමණාකාරීත්වය තීරණය කර තිබේ. ‍

මෙම ආදේශ කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා මැතිව්ස්ගේ නම තරගාවලියේ තාක්ෂණික කමිටුව වෙත යවා ඇති බවත්, එම කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු මැතිව්ස්ට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරිමට අවස්ථාව උදාවන බවත් කණ්ඩායමේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

“මැතිව්ස් කියන්නෙ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. මේ වෙලාවෙ එයාගෙ අත්දැකීම් කණ්ඩායමට හුඟක් වැදගත්. ඒ නිසා එයාගෙ පැමිණීම සංචිතයෙ ඉන්න තරුණ ක්‍රීඩකයන්ට ලොකු වාසියක් වෙයි. තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණට පස්සෙ කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරනකොට එයාව සැලකිල්ලට ගන්න පුළුවන් වෙනවා.” යැයිද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.  

කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක කළවේ ආබාධයකට ලක්වීමත් සමග ඔහු සංචිතයෙන් ඉවත් කර එතෙක් අතිරේක ක්‍රීඩකයා ලෙස සංචිතය සමග රැදී සිටි චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් කිරීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගත්තේය. ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරද අතිරේක ක්‍රීඩකයන් ලෙස ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කළේය.

ඒ අනුව මැතිව්ස් සහ චමීර ඉකුත් 20 වැනිදා ඉන්දියාවට පැමිණි අතර නෙදර්ලන්තය තරගයට පෙර දිනයේ සිට ඔවුන් ශ්‍රී ලංකා සංචිතය සමග පුහුණුවීම් සඳහාද සහභාගි වූහ. කෙසේ වුවත් ඔවුන් සංචිතය සමග රැදී සිටියේ අතිරේක ක්‍රීඩකයන් ලෙස බැවින් ඔවුන්ට නෙදර්ලන්ත තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

මේ අතර දසුන් වෙනුවට සංචිතයට ඇතුළත් වූ චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 2 කට දැවී ගිය අතර ඕවර 3 ක් යවමින් ලකුණු 15 ක් ලබාදුන් නමුත් කඩුලු දවාගැනීමට නොහැකි විය. නෙදර්ලන්ත තරගයේදී නිලකුණු ඕවරයක් සමග ඕවර 8 ක් යවමින් ලකුණු 58 ක් ලබාදුන් ඔහු එහිදීද කඩුලු දවාගැනීමට අපොහොසත් විය.

එබැවින් එංගලන්තයට එරෙහිව හෙට (26 වැනිදා) බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී චාමිකට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවීමට වැඩි ඉඩක් පවතී. එසේ වුවහොත් එම තරගයේදී චාමිකගේ ස්ථානය මැතිව්ස්ට හිමිවන නමුත් පිතිකරු ලැයිස්තුවේ ඔහුට සුපුරුදු අංක 4 හෝ 5 ස්ථාන හිමිවේවිදැයි යන්න සැක සහිතය.

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (1)

මතීෂ වෙනුවට මැතිව්ස් සංචිතයට කැඳවයි
  • iks chandrasiri Wednesday, 25 October 2023 07:39 AM

    මැතිව්ස් ඉන්නවා නම් මෙන්ඩිස්ට ලේසි වෙනවා. අනිත් මැච් සේරම දිනනවා. ඉන්දියාව වුණත් ප්‍රශ්නයක් නැහැ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.