Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බාපේගේ ගෝල ද්විත්වයෙන් අනුශූර ආජන්ටිනාවත් ඉවතට

බාපේගේ ගෝල ද්විත්වයෙන් අනුශූර ආජන්ටිනාවත් ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කයිලියන් බාපේගේ ගෝල ද්විත්වය හමුවේ අසරණ වූ ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව සම්පූර්ණයෙන් තරගාවලියෙන් ඉවතට ඇද දමමින් ගෝල 4-3 කින් ජයගත් ප්‍රංශය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් පළමු රට බවට අද(30) පත් විය. 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති මෙම තරගය රුසියාවේ කසාන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ දෙවන භාගය සම්පූර්ණයෙන්ම සියතට ගත් ප්‍රංශ ක්‍රීඩක කයිලියන් බාපේ තරගයේ 64 වැනි සහ 68 වැනි මිනිත්තුවේ ගෝල ද්විත්වයක් ලබා ගනිමින් තරගය සම්පූර්ණයෙන්ම කනපිට හරවමින් ප්‍රංශයට අවසන් 8 දෙනාගේ වටයට රිංගා ගැනීමට පූර්ණ දායකත්වය ලබා දුන්නේය.

මෙවර තරගාවලියේ පළමු වටයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ප්‍රංශයට හැකියාව ලැබුණද, ආජන්ටිනාව අවසන් 16 ට සුදුසුකම් ලබා ගත්තේ අනූනමයෙනි. අද පැවැති තරගයද රුසියාවේ කසාන් ක්‍රීඩාංගණයේදී පැවැති අතර ගියවර ශූරයන් වූ ජර්මනියට ලෝක කුසලානයට තිත තැබීමට සිදුවූයේද මෙම ක්‍රීඩාංගණය තුළදීමය

ශූරයන් ඉවත්ව ගොස් දින 3ක් යාමටත් මත්තෙන් ගියවර අනුශූරයන්ටද එම ක්‍රීඩාංගණයේදීම ලෝක කුසලානයට තිත තැබීමට සිදුවීම විමතිය දනවන්නකි.

තරගය ආරම්භ වී විනාඩි 13 කට පසු ප්‍රංශයේ කයිලියන් බාපේ ආරක්ෂිතව රැගෙන ආ පන්දුව ගෝල සීමාව ආසන්නයේදී ආජන්ටිනා ක්‍රීඩක මාකෝස් රොජෝ විසින් හිරිහැර කිරීම නිසා ප්‍රංශයට දඬුවම් පහරක් පිරි නැමීමට තරග විනිසුරුවරයා තීරණය කිරීමත් සමග එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් ඇන්ටොනි ග්‍රිස්මාන් ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය.

පළමු භාගය නිමාවීමට මිනිත්තු 3ක් තිබියදී ක්‍රියාත්මක වූ ආජන්ටිනාවේ ඩිමාරියා දියත් කළ වේගවත් පා පහර සියල්ල මවිතයට පත් කරමින් දැලවෙත ඇදී ගියේ පළමු භාගය අවසානයේ දෙපිළටම සැනසුම් සුසුමක් හෙළීමට අවස්ථාව උදාකර දෙමිනි.

දෙවන භාගය ආරම්භ වී මිනිත්තු 3ක් යාමට මත්තෙන් එනම් 48 වැනි මිනිත්තුවේදී ලයනල් මෙසී දියත්කළ පාපහරේ දිසාව ගෝල කණුවෙත යොමුකළ ගේබ්‍රියල් මර්කාඩෝ ආජන්ටිනාවට බලාපොරොත්තුවක් ගෙන දෙමින් ගෝලයක් වාර්තා කිරීමත් සමග ගෝල 2-1 කින් පෙරමුනේ පසුවිය.

නැවතත් 57 වැනි මිනිත්තුවේදී ප්‍රංශ ක්‍රීඩක බෙන්ජමින් පවාඞ් ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගය ගෝල 2-2 කින් සමවිය. එහෙත් කයිලියන් බාපේගේ ගෝල ද්විත්වයක් සමග ගෝල 4-2 ක් පසු වූ ප්‍රංශය තරගයේ අවසානය තෙක් ආජන්ටිනාවේ ඉදිරි ආරක්ෂක වළල්ල මෙල්ල කිරීම නිසා මෙම තරගයේදී මෙසීට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

ආජන්ටිනාවේ සර්ජියෝ අගුඑරෝ ලබාදුන් අමතර කාලය තුළදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුවත් එවිටමත් ජයග්‍රහණයේ වැඩි ගෞරවය ප්‍රංශය වෙත නතු වී තිබිණ. ඒ අනුව ගෝල 4-3 කින් තරගය අවසන් කළ ප්‍රංශය අවසාන කණ්ඩායම් 8 දෙනාගේ  වටයට පහසුවෙන්ම අවතීර්ණ  විය.

 

 

- 024


අදහස් (0)

බාපේගේ ගෝල ද්විත්වයෙන් අනුශූර ආජන්ටිනාවත් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.