Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුමන හේතු මත පන්නා දැමුවද අමාරුවේ වැටුණු කල්හි බේරාගැනීමට ඉදිරිපත් වන්නේ ළබැඳි ජ්‍යෙෂ්ඨයන්ම මිස තාවකාලික වීරයන් නොවන බව යළිත් වතාවක් පැහැදිළි කළ ජේසන් හෝල්ඩර් ජැමෙයිකාවේ සබීනා පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී කොදෙව් පිල ගොඩගත්තේය.
කණ්ඩායමේ 5 වැනි කඩුල්ලත් ලකුණු 100 දී බිඳ වැටුණ නමුත් නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සමගින් එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 96 ක සම්බන්ධතාවක් පැවැත්වූ හිටපු නායක ජේසන් හෝල්ඩර් පාකිස්තානයේ ලකුණු 217 පසුකර යාමට කොදෙව් පිලට මඟ පාදා දුන්නේය.
තරගයේ දෙවැනි දිනය නිමා වන විට කොදෙව් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 251 ක් ලබා සිටියේ පාකිස්තානයට වඩා ලකුණු 34 ක මුල් ඉනිමේ වාසියක් රඳවා ගනිමිනි.
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සිය ශතකය පෙනි පෙනී නිරපරාදේ දුවද්දී දැවී ගිය නමුත් ඔහුගේ ධෛර්යවත් ඉනිම සිය කණ්ඩායම ගොඩගැනීමක් විය. ඒ සඳහා බ්‍රැත්වෙයිට්ට සහාය වූයේ මාස කිහිපයකට ඉහතදී, කිසිදු සාධාරණ හේතුවකින් තොරවම කොදෙව් නායකත්වයෙන් ඉවත් කරන ලද ජේසන් හෝල්ඩර් මිස අනෙකකු නොවේ. පාකිස්තානු මුල් ඉනිම ලකුණු 217 කට සීමා වූයේත් හෝල්ඩර්ගේ (26/3) පන්දු යැවීමෙනි.
දෙවැනි දිනය ආරම්භ වූයේ කොදෙව් ලකුණු පුවරුවේ ලකුණු 02 කට කඩුලු 2 ක් ලෙසින් සටහන්ව තිබියදීය. එහෙත් එතැන් සිට කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත්වූ බ්‍රැත්වෙයිට් තමන්ගේ අන්තය ආරක්ෂා කරගනිමින් හීන්සීරුවේ ලකුණු ලබාගත් නමුත් අනෙක් අන්තයේ සිටි පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ.
වරෙක කඩුලු 3 කට ලකුණු 100 ක් ලබා සිටි කොදෙව් පිලේ ජර්මේන් බ්ලැක්වුඞ් සහ කයිල් මේයර්ස් දෙදෙනාම පිට පිටම පන්දු දෙකකදී දැවී යාමෙන් ලකුණු පුවරුව කඩුලු 5 කට 100 ක් විය. ඒ සමගම වාගේ තරගයේ වාසිය පාකිස්තානු පිල වෙතට දෝලනය වූයේ හෝල්ඩර් ලකුණු ලබාගැනීමට පෙර ඔහුව දවාගැනීමට ශහීන් ෂා අෆ්රීඩි සමත් වූ බැවිනි.
කෙසේ වෙතත් රූපවාහිනී විනිසුරුවරයාගේ තීන්දුවෙන් හෝල්ඩර් දැවී ගිය බවට දුන් තීන්දුව ආපසු හැරවිණ. එතැන් සිට පසුපස නොබැලූ හිටපු නායකයා වඩාත් වේගවත් පන්දු යවන්නන් හමුවේ තරමක් ආරක්ෂා වෙමින් අනෙක් පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන්නේය. එහෙත් ෆාහිම් අශ්රෆ්ගේ වේගය අඩාළ කළ පන්දුවකින් හෝල්ඩර් දැවී යන විට කොදෙව්වෝ අවශ්‍ය ඉසවවට පැනගෙන සිටියහ.
නායක බ්රැත්වෙයිට්ගේ 11 වැනි ටෙස්ට් ශතකය ඔහුට අහිමි වූයේ කණගාටුදායක ලෙසිනි. යසීර් ෂාගේ පන්දුවක් ෆයින් ලෙග් කලාපයට යැවූ බ්‍රැත්වෙයිට් සිය දෙවැනි ලකුණ කරා දිවගියද හසන් අලීගේ දකුණත බ්රැත්වෙයිට්ගේ දෙපා වලට වඩා ඉක්මන් වී තිබිණ. හසන් අලී දමාගැසූ පන්දුව කඩුල්ලේ වැදුණේ ලකුණු 97 දී කොදෙව් නායකයාගේ ඉනිම නවතාලමිනි.
“ඒක මගේ වැරැද්ද. ඒකේ වගකීම මම බාරගත යුතුයි” යයි සිය දුවද්දී දැවි යාමෙන් පසුව බ්‍රැත්වෙයිට් පැවසීය.
පැය 6 කට වැඩි කාලයක් පිටියේ සිටි කොදෙව් නායකයා පන්දු 221 කට මුහුණ දෙමින් ඒවායින් 12 ක් හතරේ සීමාවට යැවීය.
පාකිස්තානය - පළමු ඉනිම 217 යි
(ඉම්රාන් බට් 11, අසාර් අලී 17, බාබර් අසාම් 30, ෆවාඞ් අලාම් 56, මොහොමඞ් රිස්වාන් 23, ෆාහිම් අශ්රෆ් 44, හසන් අලී 14, කෙමර් රෝච් 47/2, ජේඞ්න් සීල්ස් 70/3, ජේසන් හෝල්ඩර් 26/3)
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම කඩුලු 8 ට 251 යි
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 97, රොස්ටන් චේස් 21, ජර්මේන් බ්ලැක්වුඞ් 22, ජේසන් හෝල්ඩර් 58, ජොෂුවා ද සිල්වා නොදැවී 20, කෙමර් රෝච් 13, මොහොමඞ් අබ්බාස් 42/3, ශහීන් ෂා අෆ්රීඞ් 59/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.