Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රසීලයත් ගෙදර යයි

බ්‍රසීලයත් ගෙදර යයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එන්න එන්නම උණුසුම වැඩිවෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසිවූ ප්‍රබලතම කණ්ඩායම් අතරින් අලුත්ම කණ්ඩායම බවට බ්‍රසීලය පත්විය. රුසියාවේ කසාන් නුවරදී බෙල්ජියම හමුවේ මුහුණ දුන් 2-1 ක පරාජයෙන් පසුව බ්‍රසීලයත් ලෝක කුසලාන තරගාවලියෙන් සමුගත්තේය.

පස්වතාවක්ම ලෝක පාපන්දු කිරුළට හිමිකම් කී බ්‍රසීලය ඊයේ ගෝල 2-1 කින් පරාජය කළ බෙල්ජියම වසර 32 කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. බෙල්ජියම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට අවසන් වරට සුදුසුකම් ලැබුවේ 1986 තරගාවලියේදීය.

එහෙත් එවර මැරඩෝනාගේ ගෝල ද්විත්වය නිසා 2-0 කින් පරාජය වීමට බෙල්ජියමට සිදුවිය.

බ්‍රසීලයේ ජයග්‍රහණය දැක බලාගැනීමට කසාන් ක්‍රීඩාංගණයට එක්රොක්වන ක්‍රීඩාලෝලීන් සෑහෙන පිරිසක් හැඬූ කඳුළින් ආපසු හරවා යැවීමට තම කණ්ඩායමට හැකිවනු ඇතැයි තරගයට දින දෙකකට පෙර උදම් ඇනූ බෙල්ජියමේ කළමනාකරු රොබෙටෝ මාටින්ස් කී දේ අකුරටම කළේය. බෙල්ජියම මේ ලැබුවේ තරගාවලියේ පිට පිට පස්වැනි ජයයි.

එපමණක් නොව බෙල්ජියමේ ජයග්‍රහණයත් සමග වසර 2006 තරගාවලියෙන් පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට යුරෝපීය කණ්ඩායම් 4 ක් එක්වීම තහවුරු විය. 2006 තරගාවලියේ අවසන් පුර්ව වටයට ජර්මනිය, ඉතාලිය, පෘතුගාලය හා ප්‍රංශය සුදුසුකම් ලැබුවේය.

බ්‍රසීල ක්‍රීඩාලෝලීන් පමණක් නොව දහසක් බලාපොරොත්තු පොදි බැඳ පැමිණි සුපිරි ක්‍රීඩක නේමාර් ඇතුළු බ්‍රසීල ක්‍රීඩකයන්ගේ කඳුළුවලින්ද ක්‍රීඩාංගණය තෙත්විය.

මෙවර තරගාවලියෙන් ඉවතට විසිවූ ප්‍රබලතම කණ්ඩායම් වන වත්මන් ලෝක ශූර ජර්මනිය, ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ උරුගුවේ කණ්ඩායම් අතරට බ්‍රසීලයත් එක්වූයේ එසේය.

සියල්ල වෙනස් වූයේ 13 වැනි මිනිත්තුවේදී බ්‍රසීල සීමාවේ කොණක සිට බෙල්ජියමේ නේසර් චඞ්ලි ගැසූ පහරින් පන්දුව ගෝල් කණුව දෙසට ඇදී එද්දී බ්‍රසීලයේ ෆර්නෑන්ඩිනෝගේ අතෙහි ගැටී තමන්ගේම දැල තුලට ඇදී යාමෙනි. ඒ සමගින් මෙවර තරගාවලියේදී තමන්ගේම දැළට පන්දුව දමාගැනීමේ අවස්ථා ගණන 10 දක්වා ඉහළ ගියේය.

ලැබූ ත්‍යාගයෙන් උද්දාමයට පත් බෙල්ජියමේ ක්‍රීඩකයන් ඉන් පසුව ක්‍රීඩා කළේ වෙනම ස්වරූපයකිනි. ඔවුන් ජයග්‍රහණය හඹා යාමේ ගමන වේගවත් කළ අතර ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ ප්‍රබලත්වය සත පහකට ගණන් ගත්තේ නැත.

අනතුරුව 31 වැනි මිනිත්තුවේදී රොමේලු ලුකාකු ලබා දුන් පන්දුවට යාර 20ක දුරක සිට ගැසූ විස්මිත පහරකින් කෙවින් ඩි බෘයිනි බෙල්ජියම ගෝල 2-0 කින් ඉදිරියට ගෙන ගියේ ක්‍රීඩාලෝලීන්ගේ දෑස් විසල් කරමිනි. මේ අනපේක්ෂිත පෙරළියෙන් අන්දමන්ද වූ බ්‍රසීලය අවස්ථා කිහිපයකදීම ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළත් ඒ සියල්ල නිෂ්ඵලවී ගියේ බෙල්ජියමේ ගෝල රකින්නාගේ දස්කමින් නොව බ්‍රසීලයේ අවාසනාව නිසාය. ඒවා බොහෝමයක් වැදුණේ ගෝල් කණුවේය.

කෝනර් සීමාවේ සිට නේමාර් ගැසූ පන්දුවට තියාගෝ සිල්වා ගැසූ පහර මඟ හැරී ගියේය. එහෙත් අතිරේක ක්‍රීඩක රෙනේටෝ ඔගස්ටෝ බ්‍රසීලයේ බලාපොරොත්තුවලට ජිවය දෙමින් 76 වැනි මිනිත්තුවේදී හිසින් ගසා ගෝලයක් ලබාගත්තේය. කෙසේ වෙතත් වේලාසනින්ම තම අතට ගත් ජයග්‍රහණය උදුරා ගැනීමට බෙල්ජියම ඉඩ දුන්නේම නැත.

රුසියාව විස්මයට පත් කළ බෙල්ජියම අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ ඊයේ පැවැති අනික් තරගයෙන් උරුගුවේ පිල ගෝල 2-0 කින් පරාජය කළ ප්‍රංශය සමගිනි. ඒ තරගය 10 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී පැවැත්වෙයි.

බෙල්ජියමේ පාපන්දු ඉතිහාසයට දීප්තිමත් රැයක් උදාකළ මේ ජයග්‍රහණයේ සතුට අතරින් ඔවුන්ගේ කනගාටුවට එකම කාරණාව වන්නේ ආරක්ෂක ක්‍රීඩක තෝමස් මියුනියර් තරගාවලියේ දෙවැනි වතාවටත් කහ කාඞ් පතින් සංග්‍රහ ලැබීම හේතුවෙන් ප්‍රංශය සමග පැවැත්වෙන මේ තීරණාත්මක තරගයකට එක් වීමෙ අවස්ථාව නැතිවීමයි.


- 077

 


අදහස් (0)

බ්‍රසීලයත් ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.