Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රසීලය හමුවේ බෙල්ජියමෙන් වහසි බස්

බ්‍රසීලය හමුවේ බෙල්ජියමෙන් වහසි බස්

Nisanka Sandeepani - 2018 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරීන් ෆෙලානීගේ සාර්ථකත්වයෙන් තරගය ආරම්භ කර රොමේලු ලුකාකුගේ විස්මිත දස්කමින් බ්‍රසීලය අන්දමන්ද කර අර්ධ අවසන් පූර්ව වටයට රිංගා ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින බෙල්ජියමේ කළමනාකරු රොබේටෝ මාටිනස් තුළ ඇත්තේ බලාපොරොත්තු කන්දරාවකි. එහෙත් පස්වතාවක් ලෝක පාපන්දු කිරුළ දිනාගත් බ්‍රසීලයට එරෙහිව සටන් වැදීමේදී ඇතිකරගත යුතු ධෛර්යය සොයාගැනීම වෙනුවෙන් කරන වහසිබස් දෙඩීමක්ද යන්නත් සිතේ. 
ඒ කෝක වුවත් බ්‍රසීලය වැනි කණ්ඩායමක් පරාජය කිරීමේදී පාපන්දු ක්‍රීඩාවේ දස්කම් පමණක් නොව බ්‍රසීලය සතු කීර්තිනාමයත් විශාල බාධකයක් බව රහසක් නොවේ. 

පිළිමළුන් පිටුදැකීමේ වටයේදී  ජපානය අතේ තිබූ ජයග්‍රහණය උදුරාගනිමින් පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරතවූ බෙල්ජියම් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පසුවන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය. ෆෙලෙයිනි, ඊඞ්න් හසාඞ් සහ ජපානය හමුවේ තීරණාත්මක ගෝලය ලබාගත් චන්ච්ලි සිටින්නේ හෙට තරගය ආරම්භ වනතරුය. 

බෙල්ජියම් ක්‍රීඩකයන්ගේ කාමරයේ මෙවන් තත්ත්වයක් පවතින හෙයින් බ්‍රසීලයේ ජයග්‍රහණය දැක බලාගැනීමට කසාන් ක්‍රීඩාංගණයට එක්රොක්වන ක්‍රීඩාලෝලීන් සෑහෙන පිරිසක් හැඬූ කඳුළින් ආපසු හරවා යැවීමට තම කණ්ඩායමට හැකිවනු ඇතැයි ද බෙල්ජියමේ කළමනාකරු වහසිබස් දොඩමින් සිටී.

“පුහුණුකරු හැටියට මට මේ කණ්ඩායම එක්ක විකල්ප ගණනාවක්ම තිබෙනවා. නමුත් මගේ ඔළුවට ඒ වෙලාවට එන තීරණය තමයි මම ගන්නේ......බ්‍රසීලය පරාජය කරන්න නම් අපිට විශාල බලයක් අවශ්‍යයි. දැනට ඇති ශක්තිය ප්‍රමාණවත් වනු ඇතැයි සිතුණත් නේමාර්ගේ විස්මිත පාද හැසිරවීම වගේම පිලිප් කොටිනෝ, පොලිනියෝ, තියාගෝ සිල්වා සහ රොබෙටෝ ෆර්මිනෝගේ විශිෂ්ටත්වයත් අපිට අභියෝගයක් බව කල්තියාම දැනගෙනයි ඉන්නේ”

“අපිට එදා ජපානයට පෙන්වූ දස්කම් නැවත අලුත් කරවීමට හැකිනම් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට හැකිවේවි.....මේක ඇත්තටම අපේ ක්‍රීඩකයන්ට එක්තරා විදිහකට සිහිනයක් වගේ තරගයක්. ඔවුන් මෙවැනි තරගයකට ක්‍රීඩා කරන්න උපන් අයයි. සාමාන්‍යයෙන් අපි නිතරම ජයග්‍රහණ පිපාසයෙනුයි ඉන්නේ. නමුත් බ්‍රසීලය කොහෙත්ම අවතක්සේරුවට ලක් කරන්නෙ නෑ” යයි කී බෙල්ජියමේ කළමනාකරුගේ සිතෙහි තවත් බොහෝ දේවල් ඇත.

මෙවර තරගාවලියේදී දැනටමත් ගෝල 4 ක් රැස් කර සිටින ලුකාකුට ‘රන් සපත්තුව’ කරා යාමට කදිම අවස්ථාවක්ද තිබේ. අර්ධ අවසන් වටයට පිවිසී සිටින එංගලන්ත පිලේ නායක හැරී කේන් ගෝල 6 ක් ලබා ඔහුට වඩා ඉදිරියෙන් පසුවන අතර ගෝල 4 ක් ලැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගල කණ්ඩායම දැනටමත් තරගාවලියෙන් ඉවත්වී සිටී. 

ඕනෑවට වඩා රඟපාන්නට යාමෙන් ක්‍රීඩා ලෝලීන්ගේ උසුළු විසුළුවලටත්, කණ්ඩායමේ කළමනාකරුගේ උදහසටත් ලක්වී සිටින නේමාර් හෙට තරගයේදී මීට වඩා විනයානුකූලව ක්‍රීඩා කරනු ඇතැයි කවුරුත් බලාපොරොත්තු වෙති. දඬුවම් පහර සීමාවේදී ප්‍රතිවාදී ක්‍රීඩකයකු සිරුරේ ගැටෙන්නටත් පෙර බිම ඇද වැටෙන අමුතු රඟපෑම හෙට තරගයේදී පසෙකලා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත් උපක්‍රමශීලිව ක්‍රීඩා කරන්නැයි කළමනාකරුවා විසින් නේමර්ට තදින්ම උපදෙස් දෙනු ලැබ ඇත. 

ඒ කෙසේවෙතත් මෙවර තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායම බ්‍රසීලය බව අවිවාදයෙන් තොරව කිව හැකිය. ඔවුන් තරගාවලියේ ආරම්භයේ සිටම දැක්වු දස්කම් සහ සැලසුම් සහගතභාවය හෙට තරගයේදී තීරණාත්මක වනු ඇත.

සඳුදා පැවැති පුහුණුවීම් වලදී බ්‍රසීලය 4-4-2 ක්‍රමය අනුව ක්‍රීඩකයන් පෙළගස්වමින් සිටියේය. ඔවුන්ගේ උපාය වන්නේ පළමු අර්ධයේදී ප්‍රවේසමෙන් ක්‍රීඩා කරමින් දෙවැනි අර්ධයේදී තරගය ජයගැනීමයි. ඒ සඳහා අවශ්‍ය තරම් ප්‍රහාරකයෝ බ්‍රසිලයට සිටිති. 

කැසිමීරෝ, පවුලිනෝ සහ පිලිප් කෝටිනෝ යනු මැද පෙළම ක්‍රීඩා කරන නමුත් එකිනෙකාට වෙනස් ක්‍රීඩකයෝ තිදෙනෙකි. ගේබි්‍රයෙල් ජීසස්ට තවමත් දැළ හමුවී නැති නමුත් රොබර්ටෝ ෆර්මිනෝ සඳුදා පැවැති තරගයේදී බංකුවේ සිට ඇවිත් ගෝලයක් ලබාගත්තේය. 
බ්‍රසීල නායකයාට ඇත්තේ සරළ සැලැස්මකි. එනම් ප්‍රතිවාදීන්ට ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව නොදීමයි. 

“අපේ අරමුණ ප්‍රතිවාදීන්ට ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව නොදීමයි. ඒත් ආරක්‍ෂාවේ පදනම ආක්‍රමණය කියන එක අපි හොඳින් දන්නවා. පන්දුව අපේ කොටසට ආවාම ඒක අරගෙන යන්න ලේසියි. අපේ ආක්‍රමණිකයන් ඒක දන්නවා” යයි බ්‍රසීල නායක තියාගෝ සිල්වා කියයි. 

සෑම තරගාවලියකදීම ලෝකයාගේ අවධානයට ලක්වන තනි ක්‍රීඩකයකුගෙන් පෙරමුණ ගන්නා බ්‍රසීලය සතුව තවත් එවැනිම ක්‍රීඩකයක් තුන් හතර දෙනකු සිටී. ඔවුන් සියලු දෙනාම තරග දිනවන්නන් වන අතර ඕනෑම අවස්ථාවකදී තරගයක් කණපිට පෙරළීමේ හැකියාව මෙම අවශේෂ ක්‍රීඩකයන් සතුව තිබේ. 
අවධානයට ලක්වන ක්‍රීඩකයා වට කිරීමට ප්‍රතිවාදීන් උනන්දු වන විට අනෙක් ක්‍රීඩකයකු බ්‍රසීලය වෙනුවෙන් කරන්නට ඕන හරිය කිරීමට ඉදිරිපත් වෙයි. 1994 සිටම බ්‍රසීල සාර්ථකත්වයේ පදනම එයයි. 

 

- 077

 

 

 


අදහස් (0)

බ්‍රසීලය හමුවේ බෙල්ජියමෙන් වහසි බස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.