Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බලාපොරොත්තුවලින් කඳවුරු බඳිති

බලාපොරොත්තුවලින් කඳවුරු බඳිති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 32කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට පිවිස සිටින සත්කාරක රුසියාව හෙට (ජූලි 1 වැනිදා) මොස්කව් නුවර ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පාපන්දු ඉතිහාසය උඩුයටිකුරු කිරීමට සූදානම් යයි රුසියානු පිලේ කළමනාකරු ස්ටැනිස්ලෝව් චෙර්චෙසෝව් මහතා කියයි.

ක්‍රීඩාලෝලීන් 81,000ක් පුරවාලිය හැකි මේ ක්‍රීඩාංගණයට හෙට පැමිණෙණ නරඹන්නන්ගෙන් නිසැක වශයෙන්ම තුනෙන් දෙකක් රුසියානුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔල්වරසන් දෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

රුසියානුවන් මේ සූදානම් වන්නේ බලාපොරොත්තු වලින් කඳවුරු බැඳීමටය.

සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක පෙරළිකාර ජයක් ලබමින් රුසියාව මූලික වටයේදී කිසිවකු අපේක්ෂා නොකළ අන්දමේ දස්කම් පෙන්නුම් කළේද මේ ක්‍රීඩාංගණයේදීමය. මෙවර තරගාවලියේ දුර්වලතම කණ්ඩායම සත්කාරයන් බව පුන පුනා කියමින් විචාරකයන් විසින් අලවනු ලැබූ ලේබලය ගලවා ඉවතට වීසි කළ රුසියානු ක්‍රීඩකයෝ පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසියේ රුසියානු ක්‍රීඩාලෝලීන්ට අහස උසට බලාපොරොත්තු දෙමිනි.

ඇලෙක්සැන්ඩර් ගොලෝවින් සහ රුසියාව වෙනුවෙන් මෙවර තරගාවලියේ ගෝල් 3ක් වාර්තා කරමින් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ රුසියානු ක්‍රීඩක ඩෙනිස් චෙරිශෙව් මත හෙට දවසේ රුසියානු බලාපොරොත්තු ගොඩනැගී තිබේ. ඔවුන් හෙට තරගයට එක්වන්නේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උණුසුම් සුබපැතුම් මැදය.

තම ක්‍රීඩකයන්ට කියන්න යැයි රුසියානු ජනාධිපතිවරයා හෙට තරගයට පෙර කණ්ඩායමේ කළමනාකරුට දුරකතන ඇමැතුමක් දීමට නියමිතය. එය කණ්ඩායමේ මානසිකත්වය ඉහළ දැමීමට හේතු වනු ඇතැයි සැළකේ.

තරගාවලියට ඔන්න මෙන්න කියා තිබියදී කණ්ඩායමේ කළමනාකරු ජුලෙන් ලොපොටෙගුයි තනතුරෙන් දොට්ට දැමීම නිසා තරමක් සසළ වූ සිතකින් යුතුව තරගාවලියට එක්වූවත් වසර 2010දී ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤය හෙට තරගයට ක්‍රීඩා කරන්නේ ඇතිවීමේ හෝ නැතිවීමේ සටනක නිරතවීමේ අභිලාෂයෙනි. ඇරත් අවසන් මහා තරගයට යනතුරු උරුගුවේ, පෘතුගාලය, ආර්ජන්ටිනාව, ප්‍රංශය, බ්‍රසීලය හෝ මෙක්සිකෝව මුණ නොගැසෙන නිසා හෙට තරගයෙන් ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයට සූදානම් වීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

ඩියාගෝ කෝස්තා, සර්ජියෝ රාමෝස්, නැචෝ, ඉස්කෝ සහ ඇස්පස් වැනි තරගයක් කණපිට හැරවීමට සමත්කම් දක්වන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ස්පාඤ්ඤයට සත්කාරකයන්ගේ බලකොටුව කඳුළින් පුරවාදැමීම අපහසු කාර්යයක් නොවන බව කළමනාකරු ෆර්නෑන්ඩෝ හයිරෝගේ විශ්වාසය වී තිබේ.

 


සැකසුම : මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

බලාපොරොත්තුවලින් කඳවුරු බඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.