Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බලාපොරොත්තු කඩවී ගීතානි සමාව අයදී

බලාපොරොත්තු කඩවී ගීතානි සමාව අයදී

Dilrukshi - 2015 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා මැරතන් ඉසව්ව වෙනුවෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහිකරන්නෙමැයි කියමින් සිටි නිලූකා ගීතානි රාජසේකර, ලෝක ශූරතා මැරතන් තරගයේ 49 වැනියා බවට පත්වීමත් සමගම නව වාර්තාවක් කෙරේ පැවැති සියලූ බලාපොරොත්තු එකතැන කඩා වැටිණ. චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේ අවසන් දිනය වන අද (30 වැනිදා) කාන්තා මැරතන් තරගයට සහභාගි වූ ගීතානි රාජසේකර, කී‍්‍රඩිකාවන් 65 දෙනකු අතුරින් 49 වැනියා බවට පත්වූවාය.

ඡායාරූපයේ සුදු පැහැ කවයෙන් දැක්වෙන්නේ ගීතානි රාජසේකරයි

මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මොහොතේදී හෝ ඇයගෙන් සැනසිලිදායක ප‍්‍රතිඵලයක් බලාපොරොත්තුව සිටි නමුත් ඇයගේ තරග නිමි කාලය අති විශාල බලාපොරොත්තු කඩවීමක් විය.

15 වැනි මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේ සමාරම්භක දිනයේදී පිරිමි මැරතන් තරගයට සහභාගි වූ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට අත්වූයේත් එවැනිම ඉරණමකි. පසුගිය 22 වැනිදා පැවැති එම තරගයේදී අනුරාධට හිමිවූයේ 29 වැනි ස්ථානයයි.

මැරතන් කී‍්‍රඩාවට පිවිසීමෙන් පසුව සිය පළමු වැනි අන්තර්ජාතික මැරතන් තරගයට සහභාගි වූ ගීතානි රාජසේකර බලාපොරොත්තුව සිටියේ තමන්ගේම ශී‍්‍ර ලංකා වාර්තාව වන පැය 2 යි, විනාඩි 40.07 වාර්තාව ඉක්මවා යාමයි. එහෙත් ඇයගේ හොඳම දක්‍ෂතාවෙන් බොහෝ ඈතට ගොස් සිටි ගීතානිට අද පෙරවරුවේදී සිය ඉසව්ව නිමා කිරීම සඳහා පැය 2 යි විනාඩි 50.40 ක කාලයක් ගතවිය. එය තරගයේ ජයග‍්‍රාහිකාව වූ ඉතියෝපියාවේ මාරි ඩිබාබාට වඩා විනාඩි 23 ක පසුබෑමකි.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ගීතානි සිය දුර්වල තරග රටාව සම්බන්ධයෙන් සමාව අයැද සිටියේ සිදුවූ කිසිවක් අදහාගත නොහැකිවය.
”අනේ මට සමාවෙන්න”
”මට මීට වඩා හොඳින් තරග  කරන්න  ඕනෑ කරලා තිබුණා. ඒත් මොනවා වුණාද කියලා මට හිතාගන්න බෑ...තරගයේ පළමු කිලෝ මීටර 8 විතර වෙනකම් මා හිටියේ දෙවැනි කී‍්‍රඩිකා පොකුරේ. ඒත් එතැනින් පස්සේ ඔවුන්ගේ වේගයට මට එක්වෙන්න බැරිවුණා....මව අතරමං වුණා” යයි ගීතානි පැවසුවාය.

මෙම ලෝක ශූරතා තරගාවලියට සූදානම් වීමේදී ඈ දෙස ඇසක් ඇර බැලීමට අපොහොසත් වූ මලල කී‍්‍රඩා බලධාරීන්ට ඇයගේ මෙම තරග ප‍්‍රතිඵලය යමක් සිතා බැලීමට කාරණයක් වනු ඇත.

ඇය මැරතන් ඉසව්ව සඳහා ශී‍්‍ර ලංකාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන්නිය වන අතරම ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට ආවේද නියමිත සුදුසුකම් සපුරාලමිනි. එපමණක් නොව වසර 2016 බ‍්‍රසීලයේදී රියෝ ද ජනෙයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහාත් ඇය සුදුසුකම් ලබා සිටී. එහෙත් ඇයට ලැබෙන සැලකිල්ලක් නැත.

”මට තරගය අතරමැදදී නවතින්නත් උවමනාව තිබුණා. ඒ වෙනකොට මස්පිඬු තදවෙලා මා අමාරුවෙන් තමයි දුවමින් හිටියේ”
”ඒත් කොහොම හරි තරගය ඉවර කරනවා කියලා මා හිතාගත්තා” යයි තරගය නිමා කිරීමෙන් අනතුරුව ඉතා අසිරුවෙන් වැනි වැනී ගිය ගීතානි පැවසුවාය.

පිරිමි මැරතන් තරගය පැවැති අවස්ථාවේදී තද උණුසුම් කාලගුණයක් පැවැති නමුත් කාන්තා මැරතන් තරගය පැවැතියේ ඒ සඳහා යහපත් කාලගුණික තත්ත්වයකදීය. එසේ වුවත් තරගයේ වේගය අඩාළ වී තිබිණ. තමන්ගේ පළමු ලෝක ශූරතා මැරතන් ජයග‍්‍රහණය අත්කරගත් මාරි ඩිබාබාට ඒ වෙනුවෙන් පැය 2 යි, විනාඩි 27.35 ක කාලයක් ගතවිය.

”ඔව්..තරගය ටිකක් මන්දගාමී තමයි”
”ඒත් මගේ ඉලක්කය වුණේ කාලය නෙමේ..තරගයේ ජයග‍්‍රහණයයි. මට හොඳටම විශ්වාසයි අනෙක් කී‍්‍රඩිකාවන්ගේ අරමුණ වුණේත් ඒකම තමා” යයි ඩිබාබා පැවසුවාය.

කෙන්යානු කී‍්‍රඩිකාවන් තිදෙනකු සහ බහරේන් කී‍්‍රඩිකාවකගෙන්ද සමන්විත වූ පළමු කී‍්‍රඩිකා පොකුරේ ඩිබාබාද සිටියාය. එහෙත් අවසන් මීටර 100 දී සෙසු කී‍්‍රඩිකාවන්ගෙන් මිදුණු ඩිබාබා ඉතාමත් වේගයෙන් තරගය අවසන් කරමින් ජයගත්තාය.

පසුගිය ලෝක ශූරතාවලියේ මැරතන් තරගයේ ජයග‍්‍රාහිකාව වූ කෙන්යාවේ හේලා කිප්රොප් ඩිබාබාට වඩා තත්ත්පරයකින් පමාවෙමින් දෙවැනි ස්ථානය හිමිකරත් අතර බහරේනයේ ඉයුනිස් කිර්වා තවත් තත්පර 3 ක් පමාවෙමින් තුන්වැනි ස්ථානය හිමිකරගත්තාය.

 


අදහස් (0)

බලාපොරොත්තු කඩවී ගීතානි සමාව අයදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.