Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක්
බංග්ලාදේශ - සිම්බාබ්වේ තරගය

බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක්

editorial - 2022 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තර⁣ගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග 'බී' කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද බංග්ලාදේශයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් ලකුණු 19 කට කඩුලු 3 ක්ද, මුස්තෆිසුර් රහමන් සහ මෙ⁣සැඩෙක් හොසේන් කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

මුල් පෙළ පිත්කරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ෂෝන් විලියම්ස්, පන්දු 42 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 64 ක් රැස්කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන ආවේය. කෙසේ වුවත් සකීබ් අල් හසන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවීයෑමකට හසුවීම හේතුවෙන් විලියම්ස්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

අවසන් ඕවර කිහිපයේදී පන්දු 25 කට මුහුණදුන් රයන් බර්ල් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 27 ක් රැස්කළ නමුත් එය සිම්බාබ්වේ කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. ඉනිමේ අවසන් පන්දුව නිපන්දුවක් වූ බැවින් ඉන් හිමිවූ නිදහස් පහරේදී සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 4 ක් පමණක් වුවද, ඊට මුහුණදුන් බ්ලෙසිං මුසරබානිට එක් ලකුණක් හෝ ලබාගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 150 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නජ්මුල් හොසේන් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 71 ක් රැස්ක⁣ළේය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක සකීබ් අල් හසන් (23) සමග එක්ව පන්දු 44 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නජ්මුල් සමත් විය. පන්දු 20 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 19 කට මුහුණදුන් අෆීෆ් හොසේන් එහිදී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.


බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 7 කට 150
(නජ්මුල් හොසේන් 71, සකීබ් අල් හසන් 23, අෆීෆ් හොසේන් 29, ලිටන් දාස් 14, බ්ලෙසිං මුසරබානි 13/2, රිචඩ් න්ගාරාවා 24/2)

සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 8 කට 147
(ෂොන් විලියම්ස් 64, රේගිස් චකබ්වා 15, රයන් බර්ල් නොදැවී 27, ටස්කින් අහමඩ් 19/3, මුස්තෆිසුර් රහමන් 15/2, මොසැ⁣ඩෙක් හොසේන් 34/2)

-036


අදහස් (0)

බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.