Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට ගෝල 1-0 ක ජයක්

බංග්ලාදේශයට ගෝල 1-0 ක ජයක්

editorial - 2021 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ මාලේ නුවර සිට)

දකුණු ආසියානු (සාෆ්) පාපන්දු  තරගාවලිය ආරම්භ කරමින් අද (1) පැවැති පළමු තගරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ගෝල 1-0ක පරාජයක් ලැබීය. මෙම තරගය පුරාම දෙපිලේ ක්‍රීඩකයන්ගේ ගැටුම්කාරී තත්ත්වයක් පෙනෙන්නට තිබිණ.

දෙපිලේ ක්‍රීඩකයන් විටින් විට ඇති කර ගත් ගැටුම් හේතුවෙන් තරගයේ දෙවැනි භාගය ආරම්භ  වී විනාඩි කිහිපයක් යාමට මත්තෙන් ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. බංග්ලාදේශ ක්‍රීඩකයන් සමග කීප අවස්ථාවකදීම ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක  ඩුක්සන්-ප්ලස් දෙවතාවක්ම දැඩි අවවාද ලැබීමෙන් පසුව රතු කාඩ් පත පෙන්වා විනිසුරැවරයා විසින් තරගයෙන් පිටියෙන් පිටමං කරන ලදි.
ක්‍රීඩකයන්ගේ ගැටුම් පාලනය කිරීමට දෙපිලේ නායකයන් දෙදෙනාද උත්සාහ ගත් අතර බංග්ලාදේශය දඬුවම් පහරක් ප්‍රයෝජයට ගනිමින් 51 වැනි විනාඩියේදී සිය පළමු ගෝලය ලබාගත්තේය.

දැල ආසන්නයේදී පන්දුව ශ්‍රී ලංකා ක්‍රීඩක ඩුක්සන් පස්ලස්ගේ අතේ වැදීම හේතුවෙන් විනිසුරැවරයා බංග්ලාදේශයට  දඬුවම් පහරක් පිරිනැමීය. එය වසර  තුනකට පසුව ශ්‍රී ලංකාවට  එරෙහිව ජයග්‍රහකයන් වීමට බංග්ලාදේශයට උපකාරී විය.

තරගයේ පළමු භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බංග්ලාදේශ කණ්ඩායම බැඳ තබා ගැනීමට සමත් වූ බවක් පෙනුණත් දෙවැනි භාගයේදී ශ්‍රී ලංකාව වෙතින් තරගය ගිලිහීයාමට හේතු වූ කාරණා අතර බංග්ලාදේශ ක්‍රීඩකයන් සමග ඇතිකරගත් ගැටුම්ද හේතු වූ බව පෙනේ.

 ‘මාලේ’ නුවරදී අද ආරම්භ වූ තරගාවලිය කොවිඩ් නිරෝධායන නීති රීති යටතේ  පැවැත්වුවත් එය නරඹන්නන්ට විවෘත කර තිබිණ. අද  තරගය නැරඹීම සඳහා ශ්‍රී ලාංකිකයන් මෙන්ම බංග්ලාදේශ ජාතිකයෝද අතිවිශාල පිරිසක් ‘මාලේ’ ජාතික පාපන්දු ක්‍රීඩාංගණයට රුස්ව සිටියහ.

තරගය පුරා දෙපිලේම ආදේශක ගණනාවක්ද වාර්තා විය. එහිදී ක්‍රීඩකයන්ගේ ආදේශක හතරක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා විය.

වසර 2018 දී ශ්‍රී ලංකාව අවසන් වරට මාලදිවයින ගෝල 1-0 කට පරාජය කළේ සුහද තරගයකදීය. මේ දක්වා ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව  තරග 17 කට සහභාගි වී ඉන් 10 කදීම අත්කර ගෙන ඇත්තේ පරාජයන්ය. ජයගෙන ඇත්තේ තරග හතරක් පමණි. වසර 2018 සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ජයග්‍රහණය කිරීමට සමත්ව නැත.
මාලේ නුවරදී දැන් පැවැත්වෙන 13 වැනි දකුණු ආසියනු පාන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හෙට (3) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.30ට ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය පිළිබඳව තවදුරටත් බලාපොරාත්තු ඇති කර ගැනීමට නම් හෙට තරගයේදී නේපාලය පරාජය කිරීම අනිවාර්ය වී තිබේ.

තරගය අතරමග වර්ෂාව ද ඇද හැලුනු අතර ගැටුම්කාරී තත්ත්වයක් මැද දෙපිලේ ක්‍රීඩකයන් ගණනාවකටම විනිසුරැවරයා කහ කාඩ් පත පෙන්වා දැඩි අවවාද ලබන කළේය.

ජාත්‍යන්තර තරග 53 කදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය දී තිබෙන ජමාල් බුහුයනන් අද තරගයේදීත් ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය දුන්නේය.

 ශ්‍රී ලංකාවේ නිත්‍ය දැල්  රකින්නා ලෙසින් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් සුජාන් පෙරේරා මේ වනවිට ජාත්‍යන්තර තරග 33 කට නායකත්වය දී තිබේ.  

 


අදහස් (0)

බංග්ලාදේශයට ගෝල 1-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.