Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය ලකුණු 187 ක් ඉදිරියෙන්
ගාල්ල ටෙස්ට් තරගය

බංග්ලාදේශය ලකුණු 187 ක් ඉදිරියෙන්

editorial - 2025 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට..)

දිවා ආහාරයෙන් පසුව විනාඩි 40 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු හතරම බිම දමාගත් බංග්ලාදේශීහු ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක මුල් ඉනිමේ වාසියක් අත්පත් කරගත්හ. ඉක්මනින්ම පිති අතට ගත් ඔව්හු තරගයේ සිව්වැනි දිනය වන අද (20 වැනිදා) සවස ක්‍රීඩාව නතර කිරීමට පෙර කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියේය. මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගයේදී ලකුණු 187 ක් ඉදිරියෙන් සිටී. 

අද තේ පානය වන විටත් ලකුණු 75 ක් ඉදිරියෙන් සිටි බංග්ලාදේශීහු, තේ පානයෙන් පසුව තවත් ලකුණු 112 ක් එකතු කරගත්තේ ශද්මන් ඉස්ලාම්ගේ කඩුල්ල පමණක් අහිමි කරගනිමිනි. එහෙත් මුල් ඉනිමේදී ශතක ලබාගත් නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 56) සහ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 22) මේ වන විටත් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබේ. 

ශ්‍රී ලංකා පිලේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් මිලාන් රත්නායක සහ කමිඳු මෙන්ඩිස් සමගින් එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 84 කින් අවසන් විය. දිවා ආහාරයෙන් පසුව මිලාන් රත්නායක දැවී යාමෙන් මඳ වේලාවකට පසුව කමිඳු මෙන්ඩිස් ද ලකුණු 87 කට දැවී ගියේය. ලකුණු 485 දී ශ්‍රී ලංකා පිතිහරඹය අවසන් විය. 

බ්‍රහස්පතින්දා සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 කට ලකුණු 368 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් දෙදෙනකුම අද උදෑසන දැවී ගිය නමුත් කමිඳු මෙන්ඩිස්ට එක්වූ මිලාන් රත්නායක, දිවා ආහාරයට පෙර හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගෙඩනංවා තිබිණ.  දිවා ආහාරයට පෙර ලකුණු 97 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ නමුත් දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා පිලට එක්වූයේ ලකුණු 20 ක් පමණි. 

වසර 148 ක ටෙස්ට් ඉතිහාසයේ පිතිකරුවන් ලබාගත් ලකුණු සාමාන්‍යයන් අනුව ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට (99.94) පමණක් දෙවැනි වන කමිඳු මෙන්ඩිස් (66.68) තම හයවැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී දැවී ගියේය. විනාඩි 233 ක් තිස්සේ කඩුල්ලේ රැඳුණු කමිඳු පන්දු 148 කට මුහුණ දෙමින් ඒවායින් 9 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. 

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් හා සංසන්දනය කිරීමේදී මිලාන් රත්නායක ස්ථාවර ලෙසින් පිත්ත හසුරුවමින් සිටියේය. මේ වන විටත් ටෙස්ට් අර්ධ ශතකයක හිමිකරුවකු වන මිලාන්ට ශ්‍රී ලංකාවට කලක් තිස්සේ අඩුවක්ව පැවැති තුන් ඉරියව් ක්‍රීඩකයා වීමේ හොඳ අවස්ථාවක් තිබෙන නමුත් ඒ වෙනුවෙන් තව බොහෝ දුරක් යා යුතුව තිබේ. 

ලකුණු සංඛ්‍යාව 417 ක්ව තිබියදී මිලාන් රත්නායක ගැසූ වේගවත් ඩ්‍රයිව් පහරකින් පන්දු යැවූ තයිජුල් ඉස්ලාම්ට උඩපන්දුවක් ලැබුණ ද ඔහුට එය රැකගත නොහැකි විය. ඒ වන විට  මිලාන් ලබා සිටියේ ලකුණු 07 කි. එතැන් සිට පසුපස නොබැලූ වමත් පිතිකරුවා, පන්දු 76 කින් ලකුණු 38 ක් ලබාගත්තේ හතරේ පහර 3 කින් සහ පන්දු යවන්නාගේ හිසට ඉහළින් ගැසූ දැවැන්ත හයේ පහරකින් ද තම ඉනිම අලංකාර කරමිනි. ඔහුගේ ලකුණු 39 ම පන්දුව පිත්තේ වැදි යාමෙන් ලැබුණු ලකුණු නොව, හිතාමතා ගැසූ පහර වලින් ලැබුණු ඒවා විය. 

මිලාන් රත්නායක සහ සෙසු පන්දු යවන්නන් වෙනස් වන්නේ එතැනිනි. 

 


(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

බංග්ලාදේශය ලකුණු 187 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.