Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය තරගාවලිය සමකරයි
දෙවැනි විස්සයි-20 තරගය

බංග්ලාදේශය තරගාවලිය සමකරයි

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආරම්භයේදී රිදෙන්නම පහර කෑ නමුත් ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ශ්‍රී ලංකා පිතිකරුවන් මැනවින් පාලනය කරගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ සිලෙත් නුවරදී අද (06 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165 කට සිරකර ගත්හ. සැලසුමක් අනුව ඉලක්කය හඹා යාමට පිවිසි බංග්ලාදේශ පිතිකරුවෝ ඕවර 18.1 කදී ලකුණු 170 ක් ලබාගනිමින් තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගත්හ. 

මෙම ජයත් සමගින් 1-1 ලෙසින් තරගාවලිය සමකළ බංග්ලාදේශ පිතිකරුවෝ ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන තුන්වැන්න තීරණාත්මක තරගයක් බවට පත්කළහ. 

මුලු ලකුණු සංඛ්‍යාව 28 ක්ව තිබියදී බිනුර ප්‍රනාන්දුගේ පන්දුවකින් කුසල් මෙන්ඩිස්ට ලැබුණු උඩපන්දුවට විනිසුරුවරයාගෙන් අනුමැතිය ලැබිණ. එහෙත් එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමුකළ පිතිකරු සෞම්‍ය සාර්කර් කඩුල්ලේ රැඳී සිටියේය. රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් පන්දුව පිත්තේ වදින බව තහවුරු වූ හෙයින් පිතිකරුවා ක්‍රීඩාගාරය වෙත ඇවිද ගියත් තුන්වැනි විනිසුරු මසුදුර් රෙහෙමාන් මහතාගේ නිගමනය වූයේ ස්පර්ශය රූපවාහිනී තිරයේ දිස්වන විට එය රාමුවක් ඉදිරියට පැන තිබූ බවත්, පන්දුව පිත්ත පසුකර යද්දී පන්දුව සහ පිත්ත අතර පරතරයක් තිබූ බවත්ය. ඒ හේතුවෙන් සෞම්‍ය සාර්කර් නොදැවූණු ක්‍රීඩකයකු ලෙසින් නැවත වරක් තණතීරුවට පිවිසියේය.  

මෙම තීන්දුව බෙහෙවින් මතභේදාත්මක වූ බැවින් ශ්‍රී ලාංකිකයන් පිටියේ සිටි විනිසුරුවරයා වටකරගත් නමුත් මඳ වේලාවකින් තරගය නැවතත් ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයන් කණස්සල්ලට පත්කරමිනි. 

මතීෂ පතිරණගේ පන්දුවකින් සෞම්‍ය සාර්කර් දැවී යන විට බංග්ලාදේශීහු පන්දු 35 කින් ලකුණු 68 ක් ලබා සිටියහ. දෙවැනි කඩුල්ල ලකණු 83 දී බිඳ වැටෙන විටත් බංග්ලාදේශයේ ලකුණු ලබාගැනීමේ වේගය 9.00 ඉක්මවා තිබිණ. එතැන් සිට පන්දු 66 කින් ලකුණු 83 ක් ලබාගැනීම, කඩුලු 8 ක් අතැතිව සිටි සත්කාරකයන්ට කජ්ජක් නොවීය. 

කඩුලු 5 ක් අතැතිව තිබූ නමුත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර 4 දී ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක දෙදෙනාට ලබාගත හැකිවූයේ ලකුණු 34 කි. ඉනිම ආරම්භයේදී සාර්ථක වූ මෙන්ඩිස්ලා දෙදෙනාත් (36 සහ 37) චරිත් අසලංක සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පිතිහරඹයත් නිසා ශ්‍රී ලංකා පිලට ලකුණු 160 සීමාව ඉක්මවා යා හැකිවිය. 

මහත් අමනෝඥ පහරකින් තම කඩුල්ල බංග්ලාදේශීන්ට පූජා කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු, ඇමරිකා එක්සත් ජනපදයේදී සහ කොදෙව් දූපත් සමූහයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට යාම සඳහා අතට දී තිබූ ගුවන් ප්‍රවේශපත්‍රය වීසිකර දැම්මේය. අවිශ්ක දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 42 කදී ලකුණු 66 ක් එක්කළ මෙන්ඩිස්ලා දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම හරි පාරට ඇදගත්හ. 

සෞම්‍ය සාර්කර්ගේ ඉතාමත් හොඳ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් දවී ගියේ පන්දු 22 කින් ලබාගත් ලකුණු 36 හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සැරසීමෙන් පසුවය. සධීර සමරවික්‍රම සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා හොඳ පහරදීමක නිරත වූ අතර දුවද්දී දැවී ගිය කමිඳු මෙන්ඩිස්ගේ පන්දු 27 ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. 

ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දුන්නේ මීයන් සමගින් සෙල්ලම් කරන බළලෙකු පරිද්දෙනි. පිටියේ ඉඩකඩ ඇති තැන් සොය සොයා ඒවා අතරින් පන්දුව හතරේ සීමාවට යැවූ මැතිව්ස්ගේ පහර නැවත නැවතත් නැරඹීමට තරම් චිත්තාකර්ශනීය විය. චරිත් අසලංක දැවී යාමෙන් පසුව ලකුණු රැස්කිරීමේ වගකීම තම කරමතට ගත් හිටපු නායකයා, පන්දු 21 කින් ලකුණු 32 ක් ලබාගත්තේ මනස්කාන්ත හතරේ පහර 4 කින් එය අලංකාර කරමිනි. 

 

- 213 


අදහස් (0)

බංග්ලාදේශය තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.