Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුළුවන් නම් ඉහළ නගිමු
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ සීමිත ඕවර තරගාවලිය

පුළුවන් නම් ඉහළ නගිමු

editorial - 2024 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සිය පළමු පුවත් පත් සාකච්ඡාවේදීම, තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා කීවේ “මේක අලුත් චක්‍රයක්” කියාය. ඒ ඇත්ත කතාවකි. 2024 වසරට පා තැබීමත් සමගින් තේරීම් කමිටු සභාපතිවරයා එසේ කීවේ එය කැලැන්ඩර් වර්ෂයක් නිසා නොවේ. 

මාස දෙකකට කලින් අවසන් වූ ලෝක කුසලාන තරගාවලියේදී ලද අන්ත පරාජයත්, ඊට පෙර පැවැති ආසියානු කුසලාන තරගාවලිය ඇතුළු මෙකී නොකී  තරගාවලි සියල්ලේම ලද අහඹු ජයග්‍රහණ තිබුණත්, කෙළවරක් නොදුටු පරාජයන් වැලට තිත තැබීම තේරීම් කමිටු නිලධාරීන්ගේ අපේක්‍ෂාව වූවාට සැකයක් නැත. 

ඉදින් ඒ අපේක්‍ෂා ඉටුකළ හැකිනම්, අද (06 වැනිදා) දිවා ආහාරයෙන් පසුව උදාවන්නේ ඊට කදිම හෝරාවකි. සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු වැන්න අද පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගතකිරම් අතරේ ශ්‍රී ලංකාව අංක 7 ට සිටින නමුත් සිම්බාබ්වේට ඇත්තේ 11 වැනි ස්ථානයයි. විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටින අතර සිම්බාබ්වේ 13 වැනි ස්ථානයට වැටී තිබේ. 

බැලූ බැල්මට “ෂා නියමයිනේ” කියා පෙනෙන නමුත්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ යාමට නම් ගැරඬි මරලා හරියන්නේ නැත. ඒ සඳහා ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින් සිටින කණ්ඩායම් පරාජය කළ යුතුව තිබේ. එබැවින් සිම්බාබ්වේ කණ්ඩායම සමගින් වැඩ ඇල්ලීම යහපති. 
අනෙක් අතට, දස්කම් හීන වීම නිසාම, ශ්‍රී ලංකා කණ්ඩායමේ වාණිජ වටිනකමත් පල්ලමේ පහළටම තල්ලු වී තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයන් වීමේ බර ඩයලොග් සමාගම විසින් කරට ගත්තත්, එය මාස 12 ක කාලයකදී, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග කිහිපයක් සඳහා පමණි. මෙම මාස 12 ක කාලය ඇතුළත, ශ්‍රී ලංකාවේදී මෙන්ම විදේශයන්හිදීත් පැවැත්වෙන අන්තර්ජාතික තරගවලදී දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වාණිජ වටිනාකම ඉහළ හෝ පහළ යනු ඇත. 

එබැවින් ඉනිමඟ ඇත්තේ අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ පමණක් නොවේ. 

ශ්‍රී ලංකාවේ සන්නාම වර්ගීකණය සහ ශ්‍රේණිගත කිරීම් අනුව කලක් ශ්‍රී ලංකාවේ අංක 1 ට තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ 2023 ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 100 දෙනා අතරේවත් සොයාගන්නට නැත. එබැවින් වාණිජ තක්සේරු කිරීම් අතරේත් ඉහළ නැඟීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අරමුණ නොවුණ හොත් කණ්ඩායමේ දස්කම් අපේක්‍ෂා කළ නොහැකිය.

වාණිජ වටිනාකම් අතරේ ඉහළ නැඟීම ක්‍රීඩකයන්ට පමණක් කළ හැකි දෙයක් නොවේ. ඒ වෙනුවෙන් වැඩිම බලපෑමක් එල්ල කළ හැකි සාධකය වන්නේ ආයතනික කීර්ති නාමයයි. ආයතනික කීර්තිනාමය රැකගැනීමේ තෝන් ලණුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතය. එහි අනෙක් කොණ ශ්‍රී ලංකා හිස්වැස්ම පැළඳ පිට්ටනියට පිවිසෙන ක්‍රීඩකයන් අත තිබේ. 

කණ්ඩායමට නම් අලුත් නායකයෝ දෙදෙනෙක් මෙන්ම අලුතෙන් පුහුණුකරුවෝ දෙදෙනෙක් ද එක්ව සිටිති. ලෝක කුසලාන තරගාවලියේදී තරග 9 කින් උඩපන්දු 16 ක් බිම දැමූ ශ්‍රී ලංකා පිලට, අතිශය කීර්තිමත් පන්දු රකින්නකු වූ උපුල් චන්දන පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස එක්වී සිටී.  තරමක් දැඩි විනයක් ඇති පුහුණුකරුවකු වන තිලිණ කණ්ඩම්බි පිතිහරඹ පුහුණුකරුවා ලෙසින් කණ්ඩායමට එක්වී සිටී. 

අද තරගයට ක්‍රීඩා කිරීමට පූර්ණ සූදානමින් සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඊයේ (05 වැනිදා) උදේ හදිසියේම අසනීප වීම හේතුවෙන් ඔහුට එක්දින තරගාවලියේ පළමු තරග දෙක අහිමි වෙයි. නිස්සංක ඊයේ සවස් වන තුරුත් රෝහල්ගත කර තිබුණු බැවින් ඇතැම් විට ඔහුට තුන්වැනි එක්දින තරගයත් අහිමි වීමට ඉඩක් නැතුවා නොවේ. නිස්සංක වෙනුවට ෂෙවොන් ඩැනියෙල් එක්දින සංචිතයට කැඳවීමට නියමිතය. 

ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, විස්සයි-20 සංචිතයට ඇතුළත්ව සිටින නමුත් ඔහු එක්දින සංචිතයට ඇතුළත්ව නැත්තේ කිමද යන්න බොහෝ දෙනාට ඇති බරපතළ ප්‍රශ්නයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැහැදිළිවම කියා සිටියේ එක්දින තරගයකදී ධනංජය පන්දුවට පහර දීමට පැමිණෙන අංක 7 ස්ථානයෙන් ධනංජයට තියා කණ්ඩායමටත් ප්‍රයෝජනයක් අත් නොවන බවයි. 

මෙවන් තත්ත්වයන් හමුවේ ප්‍රයෝජන ගැනීම අලුතෙන් සංචිතයට එක්වූ ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ෂෙවොන් ඩැනියෙල්, සහන් ආරච්චිගේ සහ ජනිත් ලියනගේ වැනි ක්‍රීඩකයන් අත ඇති කාරියකි. 

 


අදහස් (0)

පුළුවන් නම් ඉහළ නගිමු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.