Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණුකරු තෝරන්න 6 ක කමිටුවක්
ක්‍රිකට්

පුහුණුකරු තෝරන්න 6 ක කමිටුවක්

editorial - 2021 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

මිකී ආතර් මහතාගේ ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාරගැනීම සඳහා අයැදුම්පත් 30 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. දේශීය සහ විදේශීය පුහුණුකරුවන් ඒ සඳහා අයැදුම්පත් යොමුකර ඇති අතර අයැදුම්පත් බාරගැනීම පසුගිය 14 වැනිදා අවසන් විය.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන නැඟී සිටීමත් එක්ක අපේ කණ්ඩායමේ වටිනාකම වැඩිවෙලා තියෙනවා”

“විශේෂයෙන්ම පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත්, මේ වන විට සාර්ථකව පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් දිහා බලද්දීත්, අපේ ක්‍රීඩකයන්ගේ පැහැදිළි නැග්මක් පේන්න තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපේ කණ්ඩායමේ පුහුණුකරුවා වීමට වැඩි දෙනාගේ බලාපොරොත්තුවක් තියෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මෙම අයැදුම්කරුවන් අතර, ශ්‍රී ලාංකිකයන්ට අමතරව, ඕස්ට්‍රේලියානු, එංගලන්ත, දකුණු අප්‍රිකානු සහ නවසීලන්ත ජාතිකයන්ද සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධනේ වැඩිදුර තොරතුරු හෙළිදරව් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් නොවෙතත්, ලාන්ස් ක්ලුස්නර්, කර්ට්නි වොල්ෂ් සහ ග්‍රාන්ට් බ්‍රැඞ්බර්න් වැනි ප්‍රවීණයන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.

එවන ලද අයැදුම්පත් සැලකිල්ලට භාජනය කරමින්, ඒවායින් තෝරාගත් පිරිසක් සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවීමේ වගකීම 6 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවකට බාර කිරීමට නියමිතය. එම විශේෂ කමිටුව සඳහා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක මණ්ඩලයේ දෙදෙනකුද සමගින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමණාකරුද, ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂ ටොම් මූඩි සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතාද එක්වීමට නියමිතය.

මේ වන විට ලැබී ඇති අයැදුම්පත් සියල්ලම ක්‍රිකට් උපදේශක මණ්ඩලයට සහ තාක්‍ෂණික කමිටුවට බාරදී ඇති අතර ඒවායින් කිහිපයක් තෝරාගැනීමේ වගකීම ඔවුන් වෙත බාරකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් පැවසීය.

තවත් සති තුනකින් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම කාර්ය බහුල කාලයක් එළැඹෙන බැවින් හැකි ඉක්මනින් සැලකිල්ලට ගනු ලබන අයැදුම්පත් සංඛ්‍යාව අඩු කිරීමත්, අපේක්‍ෂකයන් සමගින් අන්තර්ජාලය ඔස්සේ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස දෙවැනි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරග 5 කින් සමන්විත තරගාවලියක් සඳහා පෙබරවාරි මස මුල් සතියේදී ඕස්ට්‍රේලියා බලා පිටත්ව යනු ඇත. පෙබරවාරි මස අග භාගයේදී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක් සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා යාමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග පැවැති වසර දෙකක ගිවිසුම අවසන් වීමෙන් පසුව හිටපු පුහුණුකරු මිකී ආතර් මහතා එංගලන්තයේ ඩාර්බිෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙසින් පත්ව ගිය බැවින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරය හිස්විය.

ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට මහේල ජයවර්ධන මහතා පත්කර ඇතත් පූර්ණකාලීන පුහුණුකරුවකු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වීම් පළකළේය. අයැදුම්පත් 30 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙසිනි.


අදහස් (0)

පුහුණුකරු තෝරන්න 6 ක කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.