
(ශානුක අරවින්ද)
කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ කුසලාන වෙනුවෙන් පැවැති 96 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (1 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක ඉලක්කයක් හඹා යෑම සඳහා අද පසුවරුවේ පිටියට පිවිසි නාලන්දා කණ්ඩායම, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 8 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය වූ සෙනසුරාදා (28 වැනිදා) ක්‍රීඩාව ආරම්භ කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටි ආනන්ද විදුහල, තවත් කඩුලු 3 ක් අහිමි කරගෙන ලකුණු 28 ක් රැස්කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවමින් නාලන්දා විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. ආනන්දයට සාර්ථක පිළිතරක් ලබාදීමට සැරසුණු නාලන්දීයයෝ, දෙවැනි දිනය අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 278 ක් ලබා ප්‍රභල තත්වයක පසුවූහ.
තෙවැනි දිනයේදී යළිත් ප්‍රහාරය ආරම්භ කළ නාලන්දා පිතිකරුවෝ, සිය පළමු ඉනිමට තවත් ලකුණු 146 ක් එක්කර ගැනීමට සමත් වූයේ කඩුලු 4 ක් පමණක් අහිමි කරගනිමිනි. එහිදී ශතක වාර්තා කිරීමට නෙමිඳු අක්මීමන (142) සහ මිහින් සොයිසා (119) සමත් වූ අතර නෙමිඳුගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 16 කින්ද, මිහින්ගේ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 11 කින්ද සමන්විත විය. නාලන්ද ඉනිමේ 5 වැනි කඩුල්ලට ලකුණු 166 ක් එක් කිරීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.
කඩුලු 8 ක් දැවී ලකුණු 424 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ නාලන්දීයයෝ, ආනන්දයට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුව පහරදීම සඳහා ආරාධනා කළහ. නාලන්දාවට වඩා ලකුණු 71 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ආනන්ද විදුහල, කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබාගත් අතර එහිදී තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ආරම්භක පිතිකරු දිනිඳු සෙල්ලප්පෙරුම හතරේ පහර 15 ක් සමග ලකුණු 96 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
දිනිඳුගේ දැවී යෑමත් සමග සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත් ආනන්ද විදුහල, තරගය නිමාවීමට කෙටි වේලාවක් ඉතිරිව තිබියදී ලකුණු 100 ක ඉලක්කයක් හඹා යෑම සඳහා නාලන්දාවට ආරාධනා කළේය. කෙසේ වුවත් ඒ වන විට තරගය අවසන් වීමට පෙර යැවිය හැකි වූයේ ඕවර 2 ක් පමණක් වීම හේතුවෙන් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. ආනන්ද විදුහලේ නෙතුල් එදිරිමාන්න තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර නාලන්දා විදුහලේ නෙමිඳු අක්මීමන දක්ෂතම පිතිකරුවා ලෙසත්, ඔසඳ පමුදිත දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, කෙවිඳු මනම්පේරි දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන ලැබූහ.
ආනන්ද පළමු ඉනිම - කඩුලු 8 කට 353
(නෙතුල් එදිරිමාන්න 165, දනිඳු සෙල්ලප්පෙරුම 33, හිමිර කුඩාගම 24, ශාරද ජයරත්න 38, ඔවින් පෙරේරා 53, ඔසඳ පමුදිත 74/4)
නාලන්දා පළමු ඉනිම - කඩුලු 8 කට 424
(රන්මිත් දිනුවර 31, නෙමිඳු අක්මීමන 142, ඔසඳ පමුදිත 55, මිහින් සොයිසා 119, ගෙවිඳු ඉමෙත් 35, කිත්ම විදානපතිරණ 83/3)
ආනන්ද දෙවැනි ඉනිම - කඩුලු 6 කට 170
(දනිඳු සෙල්ලප්පෙරුම 96, හිමිර කුඩාගම 23, කිත්ම විදානපතිරණ 33, දුනිත අනුසර 30/3, ඔසඳ පමුදිත 37/2)
නාලන්දා දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 8




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.