Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිට්ටනියෙන් ඔබ්බට නොපෙනෙන සත්‍යය

පිට්ටනියෙන් ඔබ්බට නොපෙනෙන සත්‍යය

editorial - 2021 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර හෙට ආරම්භ වන සීමිත ඕවර තරගාවලියේ වටිනාකම ඩොලර් මිලියන 12 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 240 කි. එබැවින් තත්ත්වය කුමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට මුහුණ දිය යුතුවම තිබේ. මක්නිසාද යත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ඩොලර් අහේනියේ තරම අනුව මිලියන 12 ක් කිසිසේත්ම අතහැර දැමිය නොහැකි බැවිනි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (18 වැනිදා) ආරම්භ වීමට නියමිත සීමිත ඕවර තරගාවලියේදී, පිට්ටනියෙන් එපිට තිබෙන යථාර්තය එයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සිට මව්බිමට පාතැබූ දිනයේ පටන්ම ප්‍රශ්නය. කෙරෝනා වෛරස ආසාදිතයන් දෙදෙනකුම හමුවූ බැවින් ශ්‍රී ලංකා පිලේ පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා සතියකට වැඩි කාලයක් ගතවිය. එහෙත් හෙට පස්වරු 3.00 ට ආරම්භ වන තරගය සඳහා ඉන්දීය ක්‍රීඩකයෝ මනා සූදානමකින් සිටිති.

විශේෂයෙන්ම ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියේදී ස්ථානයක් සොයමින් සිටින ඉන්දීය එක්දින නායක ෂිකාර් ධවාන්, දීර්ඝ නිහැඬියාවකින් පසුව තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටී. එහෙත් ඉන්දීය කණ්ඩායමේ සිටින්නේ ධවාන් පමණක් නොවේ. ප්‍රිත්වි ෂෝ, රුතුරාජ් ගයික්වාඩ්, හර්දික් පාණ්ඩ්‍යා ඇතුළු තවත් පළපුරුදු පිතිකරුවෝ රැසක් ඉන්දීය පිලේ සිටිති.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් යැයිද, එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අවමානයක් යැයිද කියමින් හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතා පසුගියදා මහා ඝෝෂාවක් කළේය. එහෙත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය අනුව ශ්‍රී ලංකා පිල ඇතුළත් කළ හැක්කේ කිනම් කාණ්ඩයකටද යන්න තක්සේරු කිරීම ක්‍රිකට් ලෝලීන්ටම බාර කරමු.

මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (16 වැනිදා) නම් කරන ලදි. එහෙත් ශ්‍රී ලංකාවේ දැනට සිටින ඉදිරිපෙළ පිතිකරුවෝ 8 දෙනෙක්ම එයට ඇතුළත් නොවෙති.

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේදී ජෛව බුබුල බිඳීම නිසා තහනමකට ලක්ව සිටිති. හිටපු නායක කුසල් ජනිත් පෙරේරා උරහිසේ ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දහවල් නිවේදනය කළේය. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් තමන්ව ජාතික වගකීම් වලින් නිදහස් කරන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ. දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් වාර්ෂික ගිවිසුම සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර සිටින අතර චන්දිමාල් තමන්ගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත අවධියක සිටී.

මෙවන් තත්ත්වයක් හමුවේ ඉන්දීය පිලට මුහුණ දීම සඳහා පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිල සතුව විශ්වාසය තැබිය හැකි පිතිකරුවන් කී දෙනෙක් සිටිත්ද යන්නත් ප්‍රශ්නයකි.

එංගලන්ත සංචාරයේදී හොඳින් පන්දු යැවූ බිනුර ප්‍රනාන්දුද බ්‍රහස්පතින්දා පැවැති පුහුණුවීම් වලදී තුවාල ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩයමට ඇති එකම බලාපොරොත්තුව දඟ පන්දු යවන්නන් පමණි.

තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිසාත්, තරග 6 ම එකම ක්‍රීඩාංගණයකදී පැවත්වෙන නිසාත් දඟ පන්දු යවන්නන්ට කිසියම් බලාපොරොත්තුවක් තබාගත හැකිය. එහෙත් ශ්‍රී ලංකාව හෙට දිනයේ සටනට පිවිසෙන්නේ නවසීලන්තය හෝ දකුණු අප්‍රිකාව සමග නොව, දඟ පන්දු යවන්නන් හමුවේ හොඳින් පදම්ව සිටින ඉන්දීය පිල හමුවේ බව සිහිතබාගත යුතුව තිබේ.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, මිනෝද් භානුක, ළහිරු උදාර, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ඉසුරු උදාන

 


අදහස් (0)

පිට්ටනියෙන් ඔබ්බට නොපෙනෙන සත්‍යය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.