Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැවතීමේ හෝ නැතිවීමේ වටය ඇරඹෙයි

පැවතීමේ හෝ නැතිවීමේ වටය ඇරඹෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (පෘතුගාලය)

විනෝදාස්වාදය, සිතිවිලි කණපිට පෙරළීම්, පෞද්ගලික ජයග්‍රහණ, විවාද, මතවාද, ඇදහිය නොහැකි ගෝල මෙන්ම කීර්තිය නැතිකරගැනීම් වලින්ද ගහණ වූ මූලික වටය අවසන් වී තිබේ. දැන් ආරම්භ වී ඇත්තේ පැවතීම හෝ නැතිවීම තීරණය කෙරෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයයි.

16 දෙනාගේ වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු වැන්නම නරඹන්නන් පා ඇඟිලි තුඩු මත සිටුවන තරමේ තරගයකි. ලයනල් මෙසීගේ ආර්ජන්ටිනාව සහ යුරෝපයේ කීර්තිය රැගෙන එන ප්‍රංශය ඊට සූදානමින් සිටිති. මෙම තරගය හෙට (30 වැනිදා) රාත්‍රියේදී පැවැත්වේ.

මූලික වටයේදී පැවැති තරග 48 දී වාර්තා වූයේ ගෝල 122 කි. ආසන්න වශයෙන් තරගයකදී ගෝල 2.5 කි. මේ ගෝල 122 අතරේ නයිජීරියාවට එරෙහිව ලයනල් මෙසී ලබාගත් ගෝලයත් ස්විට්සර්ලන්තයට එරෙහි තරගයේදී පිලිප් කෝතිනෝ ගැසූ ඇදහිය නොහැකි පහරත් ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කිරීමේදී ක්‍රොඒෂියාවේ ලූකා මොඞ්රික් පන්දුව පාලනය කළ ආකාරයත් කිසිවකුට අමතක කළ නොහැකිය.

සියල්ල අවසානයේදී පාපන්දු ලෝලීන්ගේ අවධානය යොමූ වී ඇත්තේ 16 දෙනාගේ වටය කෙරෙහිය.

පාපන්දු ක්‍රීඩාවේ වැඩි දෙනා අතර කතා බහට ලක්වන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ආජන්ටිනාවේ ලයනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා ලෝක කුසලාන තරගාවලි තුනකට සහභාගී වී තිබුණද, එකිනෙකාට එරහිව තරග වැදී නැත. එහෙත් මෙවර තරගාවලියේදී එවැනි අවස්ථාවක් උදා වීමට ඉඩක් තිබේ.

නේමාර් (බ්‍රසීලය)

ඒ සඳහා 16 දෙනාගේ වටයේදී උරුගුවේට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පෘතුගාලයද, ප්‍රංශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ආජන්ටිනාවද ජයගත යුතුය. එසේ වුවහොත් ඉතිහාසයේ පළමු වරට මෙසී හා රෙනොල්ඩෝ සිය ජාතික කණ්ඩායම් වෙනුවෙන් එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.


අන්තර්ජාතික පාපන්දු සම්මේලනය 21 වැනි වරටත් පවත්වනු ලබන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය අවසානයේ කණ්ඩායම් 16 ක් සිය දෙවැනි වටයට පිවිස  ලෝක කුසලානය පසුපස හඹායමින් සිටිති.  

මෙවර තරගාවලියට සත්කාරත්වය දරන රුසියාව ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ අතර ඔවුන් සහභාගී වූ තරග ත්‍රිත්වයෙන් තරග දෙකක්ම ජය ගනිමින් මෙවර අවසන් 16 දෙනාගේ වටයට පිවිසි අතර  ප්‍රබල ස්පාඤ්ඤය සමගින් 16 දෙනාගේ වටයේදී තරග වැදීමට නියමිතය.

ඒ කාණ්ඩයෙන්ම තරගවැදි උරුගුවේ කණ්ඩායම රුසියාව,සෞදි අරාබිය සහ ඊජිප්තුව යන කණ්ඩායම් තුනටම එරෙහිව ජයග්‍රහණ ලබමින් අපරාජිතවම මෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තද, ඔවුන් හා තරග වදිනුයේ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය වීම නිසා සුවාරිස් ප්‍රමුඛ උරුගුවේ කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල වී තිබේ.

ලුවිස් සුවාරිස් (උරුගුවේ)

සහභාගී වූ තරග 3ම ජයගනිමින් අපරාජිතවම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රෝඒෂියාව සමත් වූ අතර අවසන් 16 දෙනාගේ වටයේ දී ඩෙන්මාර්කය සමගින් තරග වැදීමට නියමිතය. ‘ඊ’ කාණ්ඩයෙන් තරගවැදුණු බ්‍රසීලය මෙවර සහභාගී වූ තරග 3 න් 2 ක්ම ජයගත් අතර සෙසු තරගය සමකර ගනිමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. ඒ අනුව නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයේදී මෙක්සිකෝව සමගින් තරග වැදීමට නියමිතය.

‘එච්’කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ කොළොම්බියාව, ජපානය සහ සෙනගලය අතර තියුණු සටනකින් අනතුරුව අවසන් මොහොතේ කොළොම්බියාව 16 දෙනාගේ වටයට රිංගා ගැනීමට තරම් වාසනාවන්ත විය. එම කාණ්ඩයෙන්ම තරගවැදි ජපානය සහ සෙනගාලය ලබාගත් ප්‍රසාද ලකුණු සමවීම නිසා අවම කහ කාඞ්පත් ප්‍රමාණයක් ලබාගත් කණ්ඩායමට අවසන් 16 දෙනාගේ දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවිය. එහිදි, සෙනගලය කහ කාඞ්පත් 6ක් ලබා සිටීම හේතුවෙන් ජපානය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ සෙනගලයේ සියලු බලාපොරොත්තු බිද දමමිනි. ඒ සමගින් මෙවර තරගාවලියෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් එකම ආසියාතික රට බවටද ජපානය පත්විය. ඒ අනුව ප්‍රබල බෙල්ජියම සමගින් ජපානය අවසන් 16 දෙනාගේ වටයේදී එකිනෙකා හමු වීමට නියමිතය.

ස්විට්සර්ලන්තය සහ ස්වීඩනය අවසන් 16 දෙනාගේ වටයේදී එකිනෙකා හමුවෙන අතර මෙවර තරගාවලියේ ඉදිරිය වඩාත් තීරණාත්මක වනු ඇත.

ලයනල් මෙසී (ආර්ජන්ටිනාව)

හැරී කේන් (එංගලන්තය) 

ලුකාකු (බෙල්ජියම)

- 024

 


අදහස් (0)

පැවතීමේ හෝ නැතිවීමේ වටය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.