Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැතුම් නිස්සංක ප්‍රහාරකයාගේ භූමිකාවට
එක්දින තරගාවලිය

පැතුම් නිස්සංක ප්‍රහාරකයාගේ භූමිකාවට

editorial - 2023 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ප්‍රහාරකයාගේ භූමිකාවට යොමු කර තිබේ. ප්‍රහාරක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය කලව මස්පිඬුවේ ආබාධය සඳහා තවමත් ප්‍රතිකර ලබමින් සිටින බැවින්, ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කැඳවා තිබේ. 

වඩාත් ස්ථාවර පිතිකරුවකු වන පැතුම්, මේ දක්වා එක්දින අන්තර්ජාතික තරග 23 කදී ලකුණු 715 ක් ලබාගෙන ඇත්තේ පන්දු 100 කදී ලකුණු 81.52 ක ප්‍රවේගයක් වාර්තාකරමිනි. නිස්සංකගේ එක්දින ඉනිමක සාමාන්‍යය ලකුණු 32.50 කි. සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පැතුම් නිස්ංසක, ඕනෑම තත්ත්වයකට අනුගත වීමට කදිම සමත්කමක් දක්වන පිතිකරුවෙකි. 

විස්සයි-20 අන්තර්ජාතික තරග 42 කදී ලකුණු 1098 ක් ලබා සිටින නිස්සංකගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය 112.15 කි. මෙම තත්ත්වය මත, ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය වීමේ වගකීම දිමුත්ට පවරා, ප්‍රහාරයේ වගකීම නිස්සංකට බාර කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකාවට එක එල්ලේම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ වරම් අහිමි වූයේ ලෝක කුසලාන සුපිරි ලීගයේ තරග 24 කින් 14 ක් පරාජය වූ බැවිනි. මෙම පරාජයන් වැලට හේතුව කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීම බැව් පෙන්වා දුන් හෙයින්, කණ්ඩායමෙන් ඉවත් කර සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න දෙදෙනාම නැවත වරක් එක්දින සංචිතයට කැඳවන ලදි. 

වසර 10 කාලයක් පුරා එක්දින තරග 34 කට පමණක් සහභාගි වී සිටින දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ වසර 2021 මාර්තු මාසයේදීය. 

ධනංජය ද සිල්වා පිතිකරු ලයිස්තුවේ අංක 6 ස්ථානයට පැමිණෙන අතර නායක දසුන් ශානක අංක 7 ට පැමිණෙනු ඇත. එහෙත් මේ දෙදෙනාටම පන්දු යැවීමේදී ඕවර 10 ක් බෙදාගැනීමට සිදුවන්නේ කණ්ඩායමට ඇතුළත් වන්නේ විශේෂඥ පන්දු යවන්නන් සිව් දෙනකු පමණක් වන බැවිනි. 

කඩුලු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරෙන අතර පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 8 දක්වා ඕනෑම ස්ථානයකින් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති සධීර සමරවික්‍රම ඇතිවන තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටිනු ඇත. එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කළ මතිෂ පතිරණ සහ මහීෂ් තීක්‍ෂණ දෙදෙනාම ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විටත් හම්බන්තොට බලා පිටත්ව ගොස් සිටිති. 
අයි.පී.එල්. තරගාවලියේදී ඇතිවූ පාදයේ ආබාධයක් සුවවීම සඳහා එන්නතක් ලබාගෙන සිටින වනිඳු හසරංග තවමත් කොළඹ සිටී. ඔහුගේ පාදයේ ආබාධ තත්ත්වය නැවත විමසා බැලීමෙන් පසුව, ඔහු හම්බන්තොට බලා පිටත්කර යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇත. වනිඳු හසරංග සිය අවසන් එක්දින තරග 5 දීම එකම කඩුල්ලක් හෝ දවාගෙන නැති අතර එම තරග 5 දී රැස්කර ඇත්තේ ලකුණු 40 කි. 

වනිඳු ක්‍රීඩා නොකරන්නේ නම් ඔහුගේ ස්ථානය තවත් දකුණත් පිතිකරුවකු වන දුෂාන් හේමන්තට හිමිවන අතර දුෂාන් බලාපොරොත්තු තැබිය හැකි පසුපෙළ පිතිකරුවෙකි. 

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගෙන දින ගණනාවක් ගතවී ඇතත්, අද පස්වරුව 3.00 වන විටත් එය නිල වශයෙන් නිවේදනය වී නොතිබිණ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ තෝරාගන්නා ලද කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතත් තවමත් ඊට ඇමති අනුමැතිය ලැබී නොමැති බවයි. 

අද පස්වරු 4.00 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 16 දෙනකුගෙන් යුත් සංචිතය නිවේදනය කළ නමුත්, එයද “ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබීමට නියමිතය” යන වගන්තිය ඇතුළත් කරමිනි. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පසුගියදා කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශයේ දැන් පවතින සංකීර්ණ ක්‍රියා පිළිවෙත හේතුවෙන් ජාතික කණ්ඩායමක් සඳහා අනුමැතිය ලබාගැනීමට දින 21 ක් පමණ ගතවන බවයි. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පළමු එක්දින තරගය ලබන සිකුරාදා (02 වැනිදා) පැවැත්වේ. 

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, (උප නායක සහ කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, වනිඳු හසරංග, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ සහ මහේෂ් තීක්‍ෂණ


අදහස් (1)

පැතුම් නිස්සංක ප්‍රහාරකයාගේ භූමිකාවට
  • Saman Wednesday, 31 May 2023 03:45 AM

    මේ ටීම් එක දිහා බලපුවාම මට නම් හිතෙන්නේ ලෝක කුසලාන අරන්ම තමයි එන්නේ කියලා... කියවද්දී තේරුණේ මේ අය ඉන්නේ පට්ට පොසිටිව් තැනක..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.