Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාසල් ක්‍රීඩා පිටියේ නව මාවත් තැනූ ගුරුසිංහ සහෝදරතුමෝ
ගුරු සේවයේ දේව දූතයෝ

පාසල් ක්‍රීඩා පිටියේ නව මාවත් තැනූ ගුරුසිංහ සහෝදරතුමෝ

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගරු නිමල් ඇලෝසියස් ගුරුසිංහ සහෝදරතුමා,....
කිසියම් ලියවිල්ලකදී එතුමන් හැඳින්වෙන ආකාරය එයයි. ඒත් වැඩිදෙනාගේ, නැතහොත් වඩාත් දයාර්ද්‍ර ආමන්ත්‍රණය අනුව නම් උන්නාන්සේ “බ්‍රදර් ගුරුසිංහ” ය.  

මේ වසරේ අගෝස්තු 15 වැනිදාට, ගුරුසිංහ සහෝදරතුමන් පැවිදි දිවියට පත්ව වසර 50 කි. ප්‍රංශයෙන් න් බිහිවූ ‘ද ලාසාල් නිකායෙන්’ දෙව් සේවාවට ඇතුළත් වූදා පටන්, ගුරුසිංහ සහෝදරතුමන් කළ කී දෑ වඩාත්ම හොඳින් දන්නෝ දෙවියන් වහන්සේය. අපට ඇත්තේ එයින් ඉතා ස්වල්පයක මතක පමණකි. එහෙත් ඒ මතක ස්වල්පය ගුරුසිංහ සහෝදරතුමන් ශාසනික, සමාජයීය සහ අධ්‍යාපනික වශයෙන් කරන ලද අප්‍රමාණ සේවය අගැයීමට හොඳ අවස්ථාවක් නිර්මාණය කරයි.

නැසීගිය ලෝරන්ස් ගුරුසිංහයන්ට දාව, තෙරේසා ගුරුසිංහ මාතාවගේ කුසින්, වර්ෂ 1951 ජූලි මස 06 වැනිදා, කොළඹට නුදුරු කොටිකාවත්ත ප්‍රදේශයේදී එතුමෝ උපත ලැබූහ.

සිය මූලික අධ්‍යාපනය සඳහා කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත් වූ කුඩා නිමල් එහිදී ලද අධ්‍යාපනයෙන් පසුව, 1967 ජනවාරි 16 වැනිදා මෝදර ශාන්ත ජෝෂප් ආධුනික දෙව්සත්හලට ඇතුළත් වූයේය. පැවිදි දිවියේ පූර්ව අවධිය, 1970 සිට 1972 දක්වා, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මංගලගිරි නගරයේ පිහිටි ආධුනික දෙව්සත්හලේ ගත කළේය. 1973 අගෝස්තු 15 වැනිදා පළමුවැනි වරට දිව්‍ය ප්‍රතිඥාව දීමෙන් පැවිදි දිවියට පා තැබූ නිමල් ගුරුසිංහ සහෝදරතුමෝ එම වසරේදීම මව්බිමට සැපත් වූහ.

රෝමානු කතෝලික ආගමික පිළිවෙත් පිරීම සම්බන්ධයෙන් 1973 සිට 1975 දක්වා අවශ්‍ය අධ්‍යාපනය මෝදර ද ලාසාල් තපස්හලේදී ලබාගත් ගුරුසිංහ සහෝදරතුමෝ, 1975 දී ගුරුවෘත්තිය සඳහා තමන් අධ්‍යාපනය ලද ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ගියහ. එහිදී හොකී කණ්ඩායම භාරව කටයුතු කරමින්, හොකී විනිසුරුවරයකු වශයෙන්ද සුදුසුකම් ලබාගත් අතර හොකී පුහුණුකරුවකු ලෙසින් ද කටයුතු කළේය. පසුව 1978 දී හෝමාගම සහ මීරිගම පිහිටි රජයේ ගුරු විද්‍යාලයන්හි ගුරු පුහුණුව ලද ගුරුසිංහ සහෝදරතුමන් වාණිජ්‍ය විෂය ධාරාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබීය.

ගුරුසිංහ සහෝදරතුමන් ගුරුවෘත්තියේත් දෙව් සේවාවේත් විශිෂ්ටතම කොටස දරුවන්ට දායාද කළේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදීය. 1980 සිට 1988 දක්වා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ උප විදුහල්පතිවරයා මෙන්ම ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරයා ලෙසින් ද කටයුතු කළ ගුරුසිංහ සහෝදරතුමෝ, එහිදී විද්‍යාලයේ ක්‍රීඩා පාලකවරයා මෙන්ම ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙසින් ද කටයුතු කළහ. එම වකවානුවේදීම ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සහතික ලබාගත් ගුරුසිංහ සහෝදරතුමන්ගේ ගුරුහරුකම් ලබාගත් විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා පිට ශූරතා දිනාගත්හ.

පසුකළෙක ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන නමක් හිමි කඩුලු රකින්නකු ලෙසින් අබිසෙස් ලද රොමේෂ් කළුවිතාරණ, 13 න් පහළ වයස් කාණ්ඩයේ සිටම ගුරුසිංහ සහෝදරතුමන්ගේ ගුරුහරුකම් මත ක්‍රිකට් පුහුණුව ලැබූ අයෙකි. ටෙස්ට් ක්‍රීඩක සජීව චානක ද සිල්වා සහ බ්ලූම්ෆීල්ඩ් පිල නියෝජනය කළ අනුෂ සිල්වා සහ සුජිත් පෙරේරාත් ගුරුසිංහ සහෝදරතුමන්ගේ දැඩි නිරීක්‍ෂණය මෙන්ම අවවාද අනුශාසනා මතින් තම ක්‍රිකට් දිවිය ඔපමට්ටම් කරගත්තෝ වෙති. ගුරුසිංහ සහෝදරතුමන්ගේ ගුරුහරුකම් මත ක්‍රිකට් පුහුණුව ලැබූ තවත් බොහෝ සෙබස්තියානුවෝ මේ වන විට ඉතාමත් සාර්ථක ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසින් තවත් ක්‍රිකට් පරම්පරාවක් පුහුණු කරමින් සිටිති.

මෙම යුගයේදී ක්‍රිකට් පුහුණුකරුවකු සහ  ක්‍රීඩා පාලකවරයකු වශයෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට කළ අනභිබවනීය මෙහෙවර වෙනුවෙන්, එතුමෝ 1998 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී ‘ස්වේච්ඡා ක්‍රිකට් පුහුණුකරුවකු’ වශයෙන් සම්භාවනාවට ද පාත්‍ර විය.

ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසින් පමණක් නොව, මොරටුව ශාන්ත සෙබස්කතියන් විද්‍යාලයේ පැසිපන්දු සහ ටෙනිස් ක්‍රීඩා සඳහාත්, බාලදක්‍ෂ කණ්ඩායම සඳහාත් ගුරුසිංහ සහෝදරතුමන්ගෙන් අනුපමේය මෙහෙවරක් ඉටුවිය.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නම් ගුරුසිංහ සහෝදරතුමන්ගේ පළමු පාඩම වන්නේ ලකුණු සටහන් කිරීමයි. කිසියම් කනිෂ්ඨ කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පැමිණෙන ක්‍රීඩකයන්ගේ අතට මුලින්ම ලැබෙන්නේ පන්දුව හෝ පිත්ත නොව, ලකුණු සටහන් පොතක කොලයක් සහ පැන්සල් කිහිපයකි. පළමුව ඔවුන් සියලු දෙනාම පන්ති කාමරයක් ඇතුළට යැවෙයි. මෙම අංකුර ක්‍රීඩකයන් පිරිස ප්‍රායෝගික ක්‍රිකට් පුහුණුව සඳහා පිටියට පිවිසෙන්නේ ක්‍රිකට් ලකුණු සටහන් කරන ආකාරය පමණක් නොව, ක්‍රිකට් පිටියේ සම්මත පන්දු රැකීමේ ස්ථාන, සම්මත පහර පමණක් නොව ක්‍රිකට් නීති රීති පවා හොඳින් ඉගෙන ගැනීමෙන් පසුවය.

ක්‍රීඩාව කුමක් වූවත්, පාසල් ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් ගුරුසිංහ සහෝදරතුමෝ විශාල අවධානයක් යොමුකළහ. උප විදුහල්පතිවරයකු වශයෙන් තමන්ට හිමිව තිබූ සියලුම අවස්ථාවලින් දරුවන්ට උපරිමය බෙදා දුන් එතුමෝ, ‘ආගම’ ට වෙන්කර තිබූ උදෑසන පළමු වැනි කාල පරිච්ඡේදයේදීම පාසලේ සියලුම පන්දු කාමර නිරීක්‍ෂණය කරමින් දිනපතාම චාරිකාවක යෙදුණහ. උරහිසේ සිට මැණික් කටුව දක්වා පැවැති ලෝගුවේ අත ඇතුළත වේවැල තිබූ බව දන්නෝ කිහිප දෙනකු පමණි.

සහෝදරතුමන්ගේ නිරීක්‍ෂණය වූයේ ක්‍රීඩා කණ්ඩායම් වල සිටින දරුවන් පාසල් ඇවිත් තිබේද නැද්ද යන්නයි. පාසලේ ක්‍රීඩා පාලකවරයා වශයෙන්, ක්‍රීඩා කරන දරුවන් ගැන තීක්‍ෂණ මතකයක් සහෝදරතුමන්ට තිබිණ. යම් හෙයකින් උදෑසන පාසල් නොපැමිණි සිසුවකු සවස පුහුණුවීම් වලට පැමිණියහොත්, ඔහුගෛ් ගමන විද්‍යාලයීය ගේට්ටුව දක්වා පමණක් සීමාවෙයි. මක්නිසාද යත්, ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ වන්නේ පස්වරු 3.00 ට වූවත්, ගුරුසිංහ සහෝදරතුමන් පස්වරු 2.30 සිටම ක්‍රීඩා පිටියේ සිටි බැවිනි.

ගුරුසිංහ සහෝදරතුමන්ගේ න්‍යාය අනුව අධ්‍යාපනයෙන් තොර ක්‍රීඩාවක් නැත. 1980 සිට 2010 දක්වා පැවැති දශක තුනේදීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම ඉහළ තලයක තිබුණේ එවන් දැඩි ප්‍රතිපත්ති හේතුවෙනි.

1981 අගෝස්තු 15 වැනිදා, තම පැවිදි දිවියට වසර 8 ක් සපිරෙන දිනයේදී, රාගම බෝයිස් ටවුන් දේවස්ථානයේදී එතුමෝ සිය අවසන් පොරොන්දුව දුන්හ.

1988 දී කඳාන ද මැසනඩ් විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වශයෙන් පත්වී ආ ගුරුසිංහ සහෝදරතුමන්, විද්‍යාලයේ උසස් පෙළ පන්ති භාරව කටයුතු කරමින්, ක්‍රීඩා සම්බන්ධීකරණ සහෝදරතුමෝ ද වූහ. 1992 දී නැවත වරක් සිය පාසල් මාතාව වූ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පැමිණි ගුරුසිංහ සහෝදරතුමෝ, ගුරුවරයකු, විදුහල්පතිවරයකු, පරිපාලකයකු මෙන්ම ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධීකරණ සහෝදරතුමන් වශයෙන් ද කටයුතු කරමින්, නිරන්තරයෙන්ම ක්‍රීඩා පිටියේ ගතකළහ.

2007 දක්වා ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ගතකළ එතුමෝ, ද ලාසාල් නිකායේ කතෝලික සහෝදරතුමන්ලාගේ ශ්‍රී ලාංකික මහගෙදර පිහිටි මෝදරට පැමිණියහ. එතැන් සිට වසර 14 ක කාලයක් ද ලාසාල් නිකායේ කතෝලික සහෝදරතුමන්ලාගේ ප්‍රධානියා වශයෙන් සේවය කළ ගුරුසිංහ සහෝදරතුමෝ, මේ වන විට ශුද්ධ වූ පවුලේ ප්‍රජාවේ ප්‍රධානියා මෙන්ම අධ්‍යක්‍ෂකවරයා ලෙසින් ද කටයුතු කරමින් සිටිති.

ගුරුසිංහ පවුල කතෝලික දහම සමගින් ඉතාම තදින් බැඳී සිටි පවුලකි. නිමල් ගුරුසිංහ සහෝදරතුමන්ගේ ඥාතීහු කතෝලික පූජක ප්‍රජාව පුරාම විසිරී පැතිරී සිටිති.

ගුරුසිංහ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනකු සිටියද, දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දුන් තිදෙනෙක්ම දෙව් සේවාවට එක්වූහ. ගුරුසිංහ සහෝදරතුමන්ගේ සොහොයුරියන් දෙදෙනකු වන මාලනී ගුරුසිංහ සහ රන්ජනී ගුරුසිංහ දෙදෙනාම කන්‍යා සොහොයුරියෝ වෙති. නැසීගිය ගරු සී.එම්. රූපසිංහ පියතුමෝ, ගුරුසිංහ සොයුරු සෝයුරියන්ගේ මවගේ සහෝදරයා වූහ.

පසුකළෙක කොළඹ ශාන්ත ජෝෂප් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් දෙකෙහිම අදියුරු පියතුමන් වූ ගරු මර්වින් වීරක්කොඩි පියතුමෝ ඥාති සහෝදරයා වූහ.

ස්වර්ගස්ථ වූ අති උතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන්ගේ සොහොයුරිය විවාපත් වූයේ ද ගුරුසිංහ සහෝදරතුමන්ගේ මාමා කෙනකු (මවගේ සොහොයුරා) සමගිනි. එපමණක් නොව, ගරු සුනිල් රූපසිංහ පියනම සහ ස්වර්ගස්ථ වූ ගරු එමිල් පෙරේරා පියනමත් ගුරුසිංහ සහෝදරතුමන්ගේ ඥාතීහු වෙති.

ගුරුසිංහ සහෝදරතුමෝ අති දක්‍ෂ ලේඛකයෙක් ද වෙති. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් තුළ පැවැති දැනුම, විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ කණිෂ්ට අංශයේදී ක්‍රීඩාව හසුරුවාගත යුතු ආකාරය ගැන, ලිපි ගණනාවක්ම පුවත් පත් වලට ලියා තැබූහ. එමගින්, තමන් තුළ තිබූ දැනුම ක්‍රිකට් ක්‍රීඩාවේ තව බොහෝ දුරක් යා හැකි දරුවන්ට මෙන්ම පරිපාලන නිලධාරීන්ටත් බෙදා දුන්හ.

පැවිදි දිවියේ ගතකළ අඩ සියවසක කාලය පුරාම, කිසිම විටෙක ක්‍රීඩාව අත නොහැර සිටි ගුරුසිංහ සහෝදරතුමන් සතු අත්දැකීම් සම්භාරය ග්‍රන්ථයකට ගොනුකළ හැකි නම්, එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට වෙහෙසෙන සුවහසක් තරුණ ගුරුභවතුන්ට සහ කණ්ඩායම් භාර ආචාර්යවරුන්ට මනා අත්පොතක් වනු නිසැකය.

දෙව් සුව සේවාව මූලික අරමුණ කරගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්වූවද,  ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා පිටියේ නව මාවත් විවර කරමින්, නිර්මාණාත්මක පුහුණුකරුවකු වූ ගුරුසිංහ සහෝදරතුමනි,

ඔබට දීර්ඝායු වේවා !!!


අදහස් (0)

පාසල් ක්‍රීඩා පිටියේ නව මාවත් තැනූ ගුරුසිංහ සහෝදරතුමෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.