Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කරයි

පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කරයි

editorial - 2023 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාවට පවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට පෙරේදා (27) අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කිරීමත් සමග එතෙක් වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් වහාම ආරම්භ කිරීමට දැන් තීරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ පසුගිය කාලය පුරා පැන නැගී තිබූ පාපන්දු පරිපාලනයේ අර්බුද හේතුවෙන් එතෙක් කලක් ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිට ඉවත්ව ගිය ජාත්‍යන්තර පාපන්දු පුහුණුකරුවන් වන ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් හා බ්‍රිතාන්‍ය ජාතික කීත් ස්ටීවන් යන මහත්වරුන් යළිත් ශ්‍රී ලංකාවේ සේවය සඳහා කැඳවීමටත් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය බාරව දැනට කටයුතු කරන ඒ.ජී.සී. දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් තාවකාලික කමිටුවෙන් පුහුණු සංචිතයේ කටයුතු ඇරඹීම සඳහා ඉල්ලීමක් කිරීමට පාපන්දු ලීග නියෝජිතයෝ අද (29)  තීණයකට පැමිණ තිබේ.

පසුගිය ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැනවූ අන්තර්ජාතික තරග තහනම පෙරේදා දැඩි කොන්දේසි මත ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළේය. ඒ සැප්තැම්බර් 29වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2023-27) කලින් ප්‍රකාශයට පත් කළ පරිදි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නියාමනයන්ට අනුව පවත්වා අවසන් කිරීමේ කොන්දේසි මතය.  එය නිරීක්ෂණය කිරීම සඳහා එදින අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් පිරිසක් මෙරටට ළඟාවන බව මේ වනවිටත් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.

 මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ප්‍රධානීන්ට  දෝෂාරෝපණය කරමින් පසුගිය මැයි 18 වැනිදා ලිපියක් නිකුත් කළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු  තහනම ඉවත් කිරීමෙන් පසුව තමන් කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරන බව දන්වා තිබුණි.  එහෙත් මෙතැන් සිට ජාතික පාපන්දු සංචිතය පුහුණුවීම් ආරම්භ කිරීමෙන් පසුව සුජාන් පෙරේරා තවදුරටත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටින බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කලින් කටයුතු කළ බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතාගේ වසර දෙකකට ආසන්න සේවා කාලය අවසන් වූයේ 2022 අප්‍රේල් 19 වැනිදාය.

සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට අපේක්ෂිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2023-27) සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා ලැයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අදට (29) නියමිතව තිබුණි. විරෝධතා බාරගැනීම ලබන බ්‍රහස්පතින්දා (31) පස්වරු 3.00 දක්වා සිදු කෙරේ. 

නිලවරණයට අනුමත නාමයෝජනා ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරෙන්නේ ලබන සැප්තැම්බර් 4 වැනිදාය. ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. මජිඩ් මහතාය. පත් කෙරෙන විධායක සභාවේ තනතුරු ගණන 13කට සීමා වේ.


අදහස් (0)

පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.