Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු පුහුණුවීම් කටාරයේදී

පාපන්දු පුහුණුවීම් කටාරයේදී

editorial - 2021 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ දැනට උද්ගතව පවතින කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම්වලට එල්ලවිය හැකි බලපෑම් වළක්වා ගැනීමේ අරමුණින් එහි නේවාසික පුහුණුවීම් කටාර් රාජ්‍යයේදී ජෛව ආරක්‍ෂක බුබුළක රැකවරණ මැද පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ ඒ සඳහා කටාර් රාජ්‍යයේ අනුමැතිය හිමිව තිබෙන බැවින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයට තෝරාගන්නා ලද ක්‍රීඩකයන් 27 දෙනෙකු හා පුහුණු කාර්යමණ්ඩලයේ 11 දෙනෙකු නේවාසික පුහුණුවීම් ඇරඹීම සඳහා සැප්තැම්බර් පළමු සති අන්තය වන විට කටාර් බලා පිටත්වීමට සූදානම්ව සිටින බවයි.

කටාර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් හමාඞ් බින් කලීෆා අල් තානි මහතා සමග ජස්වර් උමාර් මහතා කළ සාකච්ඡාවකින් පසුව කටාරයට යන ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයට අවශ්‍ය නේවාසික හා සෙසු පහසුකම් නොමිලේ ලබාදීමට කටාර් පාපන්දු සභාපතිවරයා එකඟවී තිබේ.

නේවාසික පුහුණුව සඳහා කටාරයට යන ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් අතරින් 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ලබන ඔක්තෝබර් 1 වැනිදා මාලේ නුවරදී ආරම්භ වන දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියට සහභාගී වීම සඳහා කෙළින්ම කටාරයේ සිට එහි යනු ඇත.

ශ්‍රී ලංකා සංචිතයට බඳවා ගත් විදේශයන්හි සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා මාලේ නුවරදී ජාතික සංචිතයට එක්වීමට නියමිතය. ඩිලොන් පෙරේරා හා මර්වින් හැමිල්ටන් මේ වනවිට එංගලන්තයේ පදිංචිව සිටිති.

මේ දෙදෙනා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී කොරියාවට හා ලෙබනනයට එරෙහිව පැවැති තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළහ.

කටාරයේදී පැවැත්වෙන නේවාසික පුහුණුවීම් සඳහා සහය පුහුණුකරුවන් ලෙස රූමි හසන් මොහොමඞ් හා රාජමනි දේවනායගම් දෙදෙනා පත්කරනු ලැබ සිටිති. රූමී හසන් මහතා මේ වනවිට කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවා වන අතර දේවනායගම් මහතා කළුතර බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජයේ නිත්‍ය පුහුණුකරුවා වෙයි. ජාතික පාපන්දු පුහුණුකරු සහ  තාක්ෂණික අධ්‍යක්‍ෂ අමීර් ඇලජික් මහතා කටාරයේදී ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් මෙහෙයවනු ඇත.

නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

ගෝලීය වශයෙන් ලෝකය පුරා කොවිඩ් වසංගතය තවදුරටත් පැතිර පවතින අතර කටාරයේ එහි අනතුරුදායක තත්ත්වය මේ වනවිට අවම මට්ටමකට පැමිණ තිබෙන බැවින් එහි සිට සිය නේවාසික පුහුණුවීම් පවත්වාගෙන යාම වඩාත් සුරක්ෂිත යයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

අගොස්තු මාසයේදී කටාර් රාජ්‍යයෙන් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවන අතර රෝගීන් 205 දෙනෙකු පමණක් ගැන වාර්තා වී තිබේ. මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2022 වසරේ නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේද කටාර් රාජ්‍යයේදීය.

 


අදහස් (1)

පාපන්දු පුහුණුවීම් කටාරයේදී
  • fairoos Thursday, 02 September 2021 01:37 PM

    බොදු බලසේනාවලින් එපා කියයිද දන්නේ නැහැ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.