Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු ප්‍රශ්නය විසඳන්න ලෝකෙට ලොක්කෝ එති

පාපන්දු ප්‍රශ්නය විසඳන්න ලෝකෙට ලොක්කෝ එති

editorial - 2022 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ අගෝස්තු 31 වැනිදා අවසන්වීමට නියමිත වත්මන් නිල කාලයෙන් පසුව මෙරට පාපන්දු පරිපාලනය අඛණ්ඩව පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ දූත පිරිසක් ලබන සැප්තැම්බර් 4 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිතය.

දින තුනක කාලයක් මෙරට ගත කිරීමේදී මෙම දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ යන මහත්වරු ඇතුළු මෙරට පාපන්දු පරිපාලනයේ ප්‍රධානීන් ගණනාවක් මුණගැසී සාකච්ඡා කිරීමට සැළසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය මෙම 31 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබුණත් පසුගිය මැයි 17  වැනිදා නිලවරණයේ සැළසුම් සාකච්ඡා කිරීම සඳහා පොළොන්නරුවේදී කැඳවා තිබූ විශේෂ මහා සභාව අධිකරණයේ නියෝගයකින් වාරණය කෙරුණි. ඒ හේතුවෙන් අගෝස්තු 31 වැනිදා සැළසුම් කළ පරිදි නිලවරණය පැවැත්වීමට නොහැකි  විය.

අවසන් වරට පාපන්දු ආයතනයේ නිලවරණයක් (2021-22) පවත්වා ඇත්තේ 2021 ජුනි 30 වැනිදාය.

පසුගිය මැයි 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී තිබුණත් පසුගිය කාලය පුරා රටේ පැවති කලබලකාරී තත්ත්වයන් හමුවේ පාපන්දු නිලවරණය ඇතුළුව මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් සඳහා ඉදිරියට බල පැවැත්වෙන  මාස තුනක සහන කාලයක් ලබාදී තිබුණි.

මේ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබුණේ සිය සම්මේලනයට සමගාමීව යන නව ව්‍යවස්ථාවක් අනුමත කර ගනිමින් මීළඟ පාපන්දු නිලවරණය පැවැත්විය යුතු බවයි. එහෙත් එහි කෙටුම්පත මෙතෙක් සකස් කර අවසන් වී නොමැති බැවින් මීළඟ නිලවරණය නව ව්‍යවස්ථාවට අනුගතව පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් තවදුරටත් ගොඩ නැගී තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ඉකුත් දා කටාර් රාජ්‍යයේ ස්ථාපිත ආසියානු පාපන්දු සමුළුවේ මූලස්ථානයේ දී අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ මහතා  මුණගැසීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පාපන්දු නිලවරණයේ ඉදිරි ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් සැළසුම් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ දූත පිරිසක් මෙරටට එවීමට තීරණය කර ඇත. එම දූත පිරිසේ නායකත්වය අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ නීති කමිටුවේ අධ්‍යක්ෂවරයෙකු විසින් දරණු ඇති බවත් වාර්තාවේ.

පාපන්දු ආයතනයේ වත්මන් නිල කාලය අවසන්වීමෙන් පසුව අළුත් විධායක සභාවක් පත් නොවීම තුළ එහි කටයුතු පවත්වාගෙනයාම තෙවැනි පාර්ශවයකට පැවරීම අන්තර් ජාතික පාපන්දු සම්මේලනය අනුමත නොකරයි.  මේ හා සමාන සිදුවීමක් ඉකුත්දා අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා විය. ඒ සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය අත්හිටුවමින් පරිපාලන කමිටුවකට බලය පැවරීම අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ඉවත දැමීය.

එහි ප්‍රතිඵලය වූයේ පසුගිය දින කීපයේදී ඉන්දියාවට අන්තර් ජාතික පාපන්දු තහනමක් පැනවීමයි. කෙසේ වුවත් සමස්ත ඉන්දීය පාන්දු සම්මේලනයට යළි එරට පාපන්දු පරිපාලනය පැවරීමට ඉන්දීය රජය ගත් ක්‍රියාමාර්ගයන් සමග අද (22) සිට එම තහනම ඉවත් කිරීමට අන්තර් ජාතික සම්මේලනය පියවර ගත්තේය.

මේ අතර ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.

‘‘අගෝස්තු 31 වැනිදා පාපන්දු සම්මේලනයේ වත්මන් නිල කාලය අවසන් වෙනවා. එහෙම වුණාම ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයට අනුව ශ්‍රී ලංකා පාපන්දු නිලවරණයත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බාරයට ගෙන පවත්වන්න කටයුතු කළ හැකියි.  ඒත් පාපන්දු ආයතනය සම්බන්ධයෙන් අගෝස්තු 31 වැනිදායින් පසුව ගන්නා ක්‍රියාමාර්ග අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් සමග කෙරෙන සාකච්ඡා නිමා කෙරෙනතුරු පමා කරනවා. ඒ නිසා ඉක්මන් තීරණයකට අප යන්නේ නෑ.“

අගෝස්තු 31 වැනිදා පාපන්දු ආයතනයේ වත්මන් පාලනය අවසන් වන්නේ නම් සැප්තැම්බර් 5 සිට 14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට සැළසුම්කර ඇති දකුණු ආසියානු වයස 17 න් පහළ (බාලක) තරගාවලියේ සත්කාරයද  ශ්‍රී ලංකාවට අත්හැර ගැනීමට සිදුවනු ඇතැයිද වාර්තාවේ.


අදහස් (0)

පාපන්දු ප්‍රශ්නය විසඳන්න ලෝකෙට ලොක්කෝ එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.