Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු පරිපාලනයට වෘත්තීමය ව්‍යූහයක්

පාපන්දු පරිපාලනයට වෘත්තීමය ව්‍යූහයක්

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනය, පාපන්දු ලීග මත රඳවා නොතබා, එය වෘත්තීමය ව්‍යූහයක් කරා ගෙනා යා යුතු බවත්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් සහ ආසියානු පාපන්දු සමුළුවෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට හිමිවන ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 15 ක (රුපියල් කෝටි 50 කට ආසන්න) මුදල සම්බන්ධයෙන් මීට වඩා ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාත්මක විය යුතු බවත් දක්‍ෂිත සුමතිපාල මහතා කියයි. පසුගිය සතියේ කොළඹදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී සුමතිපාල මහතා එසේ කියා සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපතිවරයා වශයෙන් දැනට කටයුතු කරන දක්‍ෂිත සුමතිපාල මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයේදී සභාපති තනතුරට තරග කිරීමට සූදානම් වෙමින් සිටී.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව අර්බුදයකට ලක්වූයේ හුදෙක් අන්තර්ජාතික තහනම පැනවීමෙන් පසුව නොවන බව අවධාරණය කළ සුමතිපාල මහතා, පාපන්දු ක්‍රීඩාව යහපත් තලයකට නැංවීමට නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රකාශ කළේය. ඒ සඳහා ක්‍රීඩකයන්, විනිශ්චයකරුවන් මෙන්ම පුහුණුකරුවන්වත් පාපන්දු ක්‍රීඩාව පිළිබඳ දැනුමෙන් පොහොසත් කළ යුතු බව හෙතෙම කියයි.

පාපන්දු ක්‍රීඩාවේ පරිපාලනය බාරගැනීම සඳහා ව්‍යාපාරිකයකු මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්හිදීත් විවිධ තනතුරු හොබවමින්, පරිපාලනය සම්බන්ධයෙන් වසර 16 ක අත්දැකීම් තමන්ට ඇති බවත් සුමතිපාල මහතා කියයි. ආයුර්වේද ඖෂධ, සංචාරක ව්‍යාපාරය, බැංකු සහ මූල්‍ය, නාවික ඉංජිනේරු කටයුතු, තාක්‍ෂණික ශිල්පීය සහ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ තම ව්‍යාපාර පවතින බව පාපන්දු නිලවරණයට ඉදිරිපත් වීමට පෙර සුමතිපාල මහතා පැවසීය.

“ඊළඟ ඡන්දයට ඉදිරිපත් වෙන්න දැනට ඉන්නේ මම විතරයි. ඒත් තව දවස් කිහිපයකින් මම මගේ කණ්ඩායම සමගින් ඉදිරිපත් වෙනවා” යයිද සුමතිපාල මහතා කීවේය.

12 න් පහළ වයස් කාණ්ඩයේ සිට 19 න් පහළ වයස් කාණ්ඩය දක්වාම කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වී ඇතැයි පවසන දක්‍ෂිත සුමතිපාල මහතා තමන් වසර 2004 දී ශ්‍රී ලංකාවේ වයස 18 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් හොං කොං රාජ්‍යයේදී පැවැති 32 වැනි ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වූ බවත් කියයි. පාසල් වියෙන් පසුව, එච්.එස්.බී.සී. බැංකුවේ සේවය කරන කල්හි, දක්‍ෂිත සුමතිපාල මහතා වෙළෙඳ සේවා පාපන්දු තරගාවලියේදී ද ක්‍රීඩා කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් එක්ව අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ පෙත්සම් දෙකකට අදාළ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් පසුගිය 10 වැනිදා සමථයකට පත්කරගන්නා ලදි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ අරමුණ ඇතිව අදාල පාර්ශ්වයන් මෙම එකඟතාවට පැමිණ තිබේ.

මෙම එකඟතාව නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය ලබන මස පැවැත්වීමට සියලුම පාර්ශ්වයන් එකඟ වී ඇති අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ද අනුමැතිය හිමිවී තිබේ. මෙම නිලවරණය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් සහ ආසියානු පාපන්දු සමුළුව විසින් අධීක්ෂණය කරනු ලබනු ඇත.

මාස 11 ක් වැනි කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නැවත වරක් නිසි මාවතට ගෙන ඒම සඳහා පාර්ශ්ව කිහිපයක්ම එක්වී සිටිති. හිටපු සභාපතිවරුන් වන ජස්වර් උමාර්, රංජිත් රුද්රිගු සහ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පුත් වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන තිදෙනාගේම පාර්ශ්ව මේ වන විට එක්වී තිබේ.

කෙසේ වෙතත් මෙවර නිලවරණයට තරග කිරීමේදී කිසිම ආකාරයකින් හිටපු නිලධාරීන් සමගින් එක් නොවන බවත්, තමන් තනිවම තරග කරමින් පාපන්දු ක්‍රීඩාවේ පරිපාලනය බාර ගන්නා බවත් සුමතිපාල මහතා කියයි.

“අපි දන්නවනේ නරක් වෙච්ච තක්කාලි ළඟින් හොඳ තක්කාලි තිබ්බාම වෙන්නේ මොකද කියලා. ඒ හින්දා මම සතුටු වෙනවා මෙච්චර කාලයක් ඒ ගොල්ලන්ගෙන් ඈත්වෙලා ඉන්න පුළුවන් වෙච්ච එක ගැන” යයි ද සුමතිපාල මහතා පැවසීය.

පාපන්දු ක්‍රීඩාවේ පරිපාලනය සඳහා තමන්ට අත්දැකීම් මදි යයි ඇතැමුන් කියන නමුත් අත්දැකීම් ඇති අය විසින් මෙතෙක් කරන ලද දේ දෙස නැවත හැරී බැලීමේදී ඔවුන්ගේ අවලාද සම්බන්ධයෙන් තමන් කරදර නොවන බවත් හෙතෙම පැවසීය.

“ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට දැන් ඕනේ වෘත්තීයමය මට්ටමේ පරිපාලනයක්.”
“පරිපාලන නිලධාරීන් පාපන්දු ක්‍රීඩා කරලා තියෙනවාද, නැත්ද කියන එක නෙමේ වැදගත්, එක් එක් අංශ සඳහා ඒ ඒ අංශයන්හි නිපුණතාව තියෙන අය පත්කරලා, ඔවුන්ට අවශ්‍ය සම්පත් දීලා වගකම් බාර කළාම කටයුතු හරියට සිද්ධ වේවි” යයි කී සුමතිපාල මහතා....
“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ක්‍රීඩකයන් 45,000 ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ ක්‍රීඩකයන්ගෙන් මීට වඩා දෙයක් ලබාගන්න පුළුවන්... අද පාපන්දු කියන්නේ නිකම් සෙල්ලමක් නෙමේ.. කර්මාන්තයක්” යයි ද පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ වෙළෙඳපොල වටිනාකම ගැන කළ විමසීමකදී සුමතිපාල මහතා කියා සිටියේ පාපන්දු තරගාවලි සියල්ලම නිසි පරිදි ක්‍රියාත්මක වේ නම් ඒවා රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 කට පමණ අළෙවි කළ හැකි බවයි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් වසරකට ඩොලර් මිලියනයක මුදල් ආධාර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ලැබේ. ආසියානු පාපන්දු සමුළුවෙන් ලැබෙන මුදල ඩොලර් ලක්‍ෂ 5 කි. එහෙත් කාන්තා පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම ඇතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට මෙන්ම ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් හැකිනම්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් මෙන්ම ආසියානු පාපන්දු සමුළුවෙන්ද තව තවත් ආධාර ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තිබේ.

 


අදහස් (1)

පාපන්දු පරිපාලනයට වෘත්තීමය ව්‍යූහයක්
  • Sunil Ayupala Monday, 14 August 2023 01:40 PM

    හොඳ පැහැදිලි කිරීමක්... මම එකඟයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.