Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු නිලවරණය සැප්-16 දා පැවැත්වීමට එකඟතා
පාපන්දු අර්බුදය

පාපන්දු නිලවරණය සැප්-16 දා පැවැත්වීමට එකඟතා

editorial - 2023 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක්  එක්ව අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ පෙත්සම් දෙකකට අදාළ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සමථයකට පත්කරගෙන තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ අරමුණ ඇතිව අදාල පාර්ශ්වයන් මෙම එකඟතාවට පැමිණ තිබේ. 

මෙම එකඟතාව නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය ලබන මස (සැප්තැම්බර්) 16 වැනිදා පැවැත්වීමට සියලුම පාර්ශ්වයන් එකඟ වී ඇති අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ද අනුමැතිය හිමිවී තිබේ. මෙම නිලවරණය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් සහ ආසියානු පාපන්දු සමුළුව විසින් අධීක්ෂණය කරනු ලබනු ඇත.

මාස 11 ක් වැනි කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නැවත වරක් නිසි මාවතට ගෙන ඒම සඳහා මේ වන විට පාර්ශ්ව කිහිපයක්ම එක්වී සිටිති. හිටපු සභාපතිවරුන් වන ජස්වර් උමාර්, රංජිත් රුද්රිගු සහ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පුත් වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන තිදෙනාගේම පාර්ශ්ව මේ වන විට එකට එක්වී තිබේ. 

සැප්තැම්බර් 16 වැනිදා නිලවරණය මෙහෙයවීම නිලවරණ කමිටුවක් මගින් පැවැත්වෙන අතර එහිදී රහස් ඡන්ද ක්‍රමය මත නිලවරණය පැවැත්වෙනු ඇත. 

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව ‘ඡන්දය පැවැත්වීම‘ රහස් ඡන්දයක් ද නැතහොත් විවෘත ඡන්දය ප්‍රකාශ කිරීමක්  ද යන්න මහ සභාවට තීරණය කළ හැකියි“ යයි එහි හිටපු සභාපතිවරු කියති. වසර 2015 දක්වාම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණ වලදී පැවැතියේ විවෘත ඡන්දයක් වුවද, නිලවරණ කමිටු කරළියට පැමිණීම හේතුවෙන්  2015 සිට රහස් ඡන්ද ක්‍රමය ආරම්භ කෙරිණ. ඒ අනුව වසර 2017 දී සහ 2021 දීත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණ පැවැති නමුත් 2023 ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේදී විවෘතව ඡන්දය ප්‍රකාශ කළ බව කියැවේ. 

එහිදී සභාපති තනතුරට පත්වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ ශ්‍රී රංගා මහතාය.  එහෙත් වව්නියාව මහාධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු මත පාපන්දු සම්මේලන සභාපති ජේ. ශ්‍රී රංගා මහතා පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදි. 

2023 ජනවාරි 14 වැනිදා නිලවරණයේදී කවුරුන් කාට ඡන්දය ප්‍රකාශ කළේද යන්න එහි සිටි ඇතැම් පාර්ශ්වයන් විසින් සටහන් කරගැනීමෙන් පසුව ඒවා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට ඉදිරිපත් කළ බවත් ඉතාමත් විශ්වාසකටයුතු මාර්ග වලින් දැනගන්නට ඇත. 
‘රජයේ අනිසි බලපෑම්‘ ඇතැයි යන පදනම මත, 2023 ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තහනමකට ලක්කරන ලද්දේත් මෙම හේතූන් නිසා බවත් කියැවේ. 

කෙසේ වෙතත්, අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත් කිරීම සඳහා,  අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නියෝගය වන්නේ, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් නිකුත් කරන ලද උපදෙස් සහ කොන්දේසි අනුව, හැකි ඉක්මනින් නිලවරණය පැවැත්විය යුතු බවයි. එම උපදෙස් අනුව නිලවරණය පැවැත්වීමට අදාල කටයුතු දැනටමත් කෙරෙමින් පවතී. 

ජනවාරි 21 වැනිදා පැනවූ අන්තර්ජාතික තහනම ඉවත්කරවා ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය බලවත් උත්සාහයක් ගත් නමුත් ඒ කිසිවක් සාර්ථක නොවීය. එහෙත් ජූලි 26 වන දින අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සමුළුව එක්ව, දැඩි කොන්දේසි සහිත පදනමක් මත, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට එකඟතාව පළ කළේය. ඒ අනුව සැප්තැම්බර් 16 වැනිදා නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වීමට අවකාශය ලැබෙනු ඇතැයි යන්න ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරීන්ගේ මතය වී තිබේ. 

කොළඹ අභියාචනාධිකරණයේදී අද (10 වැනිදා) පෙරුවරුවේදී ඇතිකරගත් එකඟතාව අනුව, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අදාළව 2022 දෙසැම්බර් 14 වැනි දින අංක 2310/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ 2022 දෙසැම්බර් 14 වැනි දින අංක 2310/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි 2023 නොවැම්බර් 01 වැනිදා දක්වා ක්‍රියාත්මක නොවේ. ඒ අනුව 2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර පැවැති රෙගුලාසි අනුව පාපන්දු නිලවරණය පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හිමිවනු ඇත. 


අදහස් (0)

පාපන්දු නිලවරණය සැප්-16 දා පැවැත්වීමට එකඟතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.