Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු ක්‍රීඩාව රැකගන්නයි ඇමතිගෙන් ඉල්ලීමක්

පාපන්දු ක්‍රීඩාව රැකගන්නයි ඇමතිගෙන් ඉල්ලීමක්

Nisanka Sandeepani - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන ජූලි 01 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් ජාතික මට්ටමින් හෝ ක්‍රීඩා මට්ටමින් හෝ පාපන්දු ක්‍රීඩාවේ නියැලී නැති පුද්ගලයන් පාපන්දු ප්‍රධාන තනතුරුවලට ඉදිරිපත් වීමට සූදානම්වන හෙයින් මෙරට පාපන්දු ක්‍රීඩාවේ අභිවෘද්ධිය තකා එවැනි නුසුදුසු පුද්ගලයන් පාපන්දු පරිපාලනයේ කිසිදු තනතුරකට පත්වීම ක්‍රීඩා පනතට යටත්ව වළකාලන ලෙස පාපන්දු ප්‍රවීණයකු වන සුනිල් සේනවීර මහතා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

පාපන්දු ක්‍රීඩකයකු සහ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු විනිසුරුවරයකු වන සුනිල් සේනවීර මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම හිටපු උප සභාපතිවරයකුද වේ.හෙතෙම වසර 40කට අධික කාලයක් මෙරට පාපන්දු ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකයකුද වේ.

වසරින් වසර සහ දිනෙන් දින කඩාවැටෙමින් පවතින ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නගාසිටුවීමට නම් ක්‍රීඩාවට ආදරය කරන සහ පාපන්දු ක්‍රීඩාවේ නියැලුණු ප්‍රවීණයන් පාපන්දු පරිපාලනයට පත්විය යුතු බව සුනිල් සේනවීර මහතා පසුගිය මැයි 29 දින ක්‍රීඩා ඇමති වරයාට යොමුකොට ඇති ලිපියේ සඳහන් වේ.

2017 පාපන්දු නිලවරණය සඳහා හිටපු සභාපතිවරයකු වූ රංජිත් රුද්‍රගු මහතා ඉදිරිපත්වන බව (සභාපති තනතුරට) ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති බවත් කිසිදිනක පාපන්දු ක්‍රීඩාව නොකළ ඒ මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත සහ ක්‍රීඩා ඇමතිවරයා නොමග යවමින් පාපන්දු සභාපති තනතුරට ඉදිරිපත් වීමට සූදානම් වීම පාපන්දු ක්‍රීඩාවේ අභාග්‍යසම්පන්න සිදුවීමක් බව   ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී සුනිල් සෙනවීර මහතා පැවසීය.

2013 වසරේ රංජිත් රුද්‍රගු මහතා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත්වූයේද ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් සහ එවකට හිටපු ක්‍රීඩා ඇමතිවරයා නොමග යවමින් බවද සුනිල් සෙනවීර මහතා කීවේය.

කිසිදිනෙක පාපන්දු ක්‍රීඩාවේ යෙදී නොමැති රුද්‍රගු මහතා වයස අවුරුදු 52 දී එනම් පසුගිය (2016) වසරේ පාපන්දු නිලඇඳුම් හැඳ අතිරේක ක්‍රීඩකයකු ලෙස පෙනී සිටිමින් සැබෑ පාපන්දු ක්‍රීඩකයකු ලෙස හැඟවීමට ලැජ්ජා සහගත උත්සාහයක් ගෙන ඇති බවත් ඔහු කිසිදා පාපන්දු ක්‍රිඩාවේ යෙදී නැති බවට මීගමුව ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් හොඳින් සාක්ෂි දරන බවත් සෙනවීර මහතා පෙන්වා දුන්නේය.

 ‘‘රංජිත් රුද්‍රගු මහතා සභාපති ධුරය දැරූ යුගයේ ඉතිහාසයේ කිසිදා නොවූ අයුරින් ශ්‍රී ලංකාව මාලදිවයිනට ගෝල 10-0 ක් ලෙස පරාජය වූවා. ඒ වගේම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව (2013-2015) 173 ස්ථානය සිට 193 දක්වා පහතට වැටුණා”.

රුද්‍රගු මහතාගේ පාලන කාලයේ  අත්තනෝමතික සහ ඒකාධිපති ක්‍රියාකලාපයන් බහුල ලෙස පෙන්නුම් කළා. ඔහුට පැවරුණු පෞද්ගලික නඩු හබවලට පවා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් නොමග යවමින් රුපියල් කෝටි 2 ක මුදලක් සම්මේලනයේ මුදල් වැයකොට තිබෙනවා. ඒ වගේම ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝශප් බ්ලැටර් සහ විදෙස් පාපන්දු නියෝජිතයන් මෙරටට ගෙන්වා සුපිරි හෝටල්වල සාද පැවැත්වූවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 160ක මුදලක් අත්තනෝමතික ලෙස වැයකොට තිබෙනවා. එය ඔහුගේ ප්‍රසිද්ධිය සහ ප්‍රතිරූපය නංවා ගැනීමටයි එම මුදල් යොදවා තියෙන්නේ. ඒ සමගම 2013 වසර වනවිට කෝටි 1200 ක මුදලක් පාපන්දු සම්මේලනයේ ස්ථාවර තැන්පතු ලෙස තිබුණා. නමුත් අදවන විට එම මුදල් සතයක්වත් නැහැ. ඊටත් වගකිව යුත්තේ රංජිත් රුද්‍රගුමහතායි ර්‍ණ යයි පෙන්වාදුන් සේනවීර මහතා...

‘‘රුද්‍රගු මහතාට විරුද්ධව මත දැරූ නිලධාරීන් පාපන්දු කමිටු සාමාජිකයන් සහ සම්මේලනයේ සේවකයන් ඉවක් බවක් නැතුව ඉවත් කොට තිබෙනවා. ඒ වගේම ජාතික මට්ටමේ ක්‍රීඩකයකු සහ කණ්ඩායම් නායකයකු වන වත්මන් සභාපති අනුර ද සිල්වා මහතාට පවා තර්ජනය කරමින් ඔහුගේ රාජකාරි කටයුතු වලට බාධා කර තිබෙනවා.  යැයිද  පැවසීය.

එහෙයින් මෙරට පාපන්දු ක්‍රිඩාවේ අභිවෘද්ධියක් දැකීමට නම් නුසුදුස්සා ඉවත් කොට සුදුස්සාට නිසි තැන දිය යුතු බවත් ක්‍රීඩා පනත නිසි ලෙස ක්‍රියාත්මක කරමින් පාපන්දු සම්මේලනයේ මෙවර නිලවරණය පැවැත්වීමට කටයුතු යොදන ලෙස සුනිල් සෙනවීර මහතා ක්‍රීඩා ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ මීගමුව දොන්බොස්කෝ ක්‍රීඩා සමාජයේ සභාපති ඇන්තනී පින්ටෝ පියතුමාද එම ක්‍රීඩා සමාජයේ ලේකම් ස්ටැන්ලි පෙරේරා, හිටපු ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වූ එම්.එම්ග.රමීෂ් සහ චතුර ගුණරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

 


අදහස් (0)

පාපන්දු ක්‍රීඩාව රැකගන්නයි ඇමතිගෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.