Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානුවෝ සටන්කාමී පිතිහරඹයක
සිඩ්නි ටෙස්ට් තරගය

පාකිස්තානුවෝ සටන්කාමී පිතිහරඹයක

editorial - 2024 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 96 කට කඩුලු 5 ක් බිඳ වැටුණ නමුත් මොහොමඞ් රිස්වාන්, අඝා සල්මාන් සහ අමීර් ජමාල්ගේ අර්ධ ශතක වලින් ශක්තිමත් වූ පාකිස්තානුවෝ ඕස්ට්‍රේලියානුවන් අසහනයට පත්කලහ. සිඞ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වූ අද (03 වැනිදා) පාකිස්තානුවෝ සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 313 ක් ලබාගත්හ. දිනයේ ක්‍රීඩාව අවසන් වීමට පෙර ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 06 ක් ලබා සිටියේය. 

සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඬේවිඞ් වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ ලකුණු 06 ටම හිමිකම් කීවේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් පාකිස්තානුවෝ ලකුණු 96 ක් තුළ කඩුලු 5 ක් අහිමිකරගත්හ. මෙම අවස්ථාවේදී එක්වූ මොහොමඞ් රිස්වාන් සහ අඝා සල්මාන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටිමින්, 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවූහ. 

පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා නොකළ මොහොමඞ් රිස්වාන් පන්දු 103 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමඟින් ලකුණු 88 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ බවුන්සර් පන්දුවකට ගොදුරු විය. මෙම තරගාවලියේ පාකිස්තානු පිතිකරුවෙකු ලබාගත් ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමෙන් පසුව ජොෂ් හේසල්වුඞ් වෙත උඩපන්දුවක් දීමෙන් රිස්වාන් දැවී ගියේය. 

අර්ධ ශතකයක් ලබාගත් අඝා සල්මාන් වමතින් වේග පන්දු යවන මිචෙල් ස්ටාක් හමුවේ ට්‍රැවිස් හෙඞ් අතට උඩපන්දුවක් දුන්නේ ලකුණු සංඛ්‍යාව 226 දක්වා ඉහළ දැමීමෙන් පසුවය. හසන් අලී ලකුණු නොලබා දැවී ගිය බැවින් 9 වැනි කඩුල්ලත් ලකුණු 227 දී බිම වැටිණ. 

කෙසේ වෙතත් තම 3 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින අමීර් ජමාල් ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කළ බැවින් පන්දු යවන්නන් සහ පිතිකරුවන් අතර සටන දිගටම පැවතිණ. 10 වැනි කඩුල්ල වෙනුවෙන් මීර් හම්සා සහ අමීර් ජමාල් (82) අතර පැවැති සම්බන්ධතාව ලකුණු 86 ක් විය. ඒ වෙනුවෙන් හම්සාගේ දායකත්වය ලකුණු 07 කින් පමණි. 


පාකිස්තානය - පළමු ඉනිම 313 යි
(ශාන් මසූඞ් 35, බාබර් අසාම් 26, මොහොමඞ් රිස්වාන් 88, අඝා ෂල්මාන් 53, සජීඞ් ඛාන් 15, අමීර් ජමාල් 82, මිචෙල් ස්ටාක් 75/2, පැට් කමින්ස් 61/5)

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කිසිවකු නොදැවී 06 යි

- 213


අදහස් (0)

පාකිස්තානුවෝ සටන්කාමී පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.