Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ දිනුම ගෙනෙති
දෙවැනි එක්දින තරගය

පන්දු යවන්නෝ දිනුම ගෙනෙති

editorial - 2022 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)

අල්ප වූ ලකුණු සංඛ්‍යාවක් අත තබාගෙන, අති විශිෂ්ට සටනක් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කැන්ගරුවන්ගේ අවසන් කඩුලු 5 ම ලකුණු 19 ක් තුළදී බිඳ හෙළමින්, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 26 ක ජයක් ලබාගත්හ. ඩක්වර්ත්/ලුවිස් න්‍යාය මත ලබාගත් මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් ලබාගත්තේය. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය, ඕවර 43 කදී ලකුණු 216 ක් දක්වා සංශෝධනය කරන ලදි.
 
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ තරමක් අසීරුවෙන් ඉලක්කය කරා ගිය ඕස්ට්‍රේලියානුවන්ගේ ඉනිම, ග්ලෙන් මැක්ස්වෙල් ගැසූ පුල් පහරක් වැරදී යාමෙන් දෙදරා ගියේය. එතැන් සිට ඉතිරි කඩුලු 5ම ලකුණු 19 කට බිඳ වැටීමෙන් ලකුණු 189 ක් ඇතුළත ඕස්ට්‍රේලියානුවෝ පරාජය බාරගත්හ.

සාර්ථක පන්දු යැවීමක යෙදුණු ධනංජය ද සිල්වා (6-0-26-2) සහ තවමත් පැඟිරි වියේ සිටින දුනිත් වෙල්ලාලගේ (5-0-25-2) කළ අගනා පන්දු යැවීමට පසුව පැමිණි චාමික කරුණාරත්න (7-0-47-3) සිය හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් පිටියට පිවිසි ඕස්ටේ්‍රලියානුවෝ, එම පන්දු යවන්නන් තිදෙනාගේ ඕවර 30 දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 141 කට සීමාකර ගත්හ. මෙම ඕවර 30 දී යැවූ පන්දු 180 න් පන්දු 98 ක්ම නිලකුණු පන්දු වූ අතර ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් තිදෙනා අතර බෙදී ගිය කඩුලු සංඛ්‍යාව 5 කි.

ධනුෂ්ක ගුණතිලක සිය සුපුරුදු රිද්මය දිගටම පවත්වාගෙන යාමට උත්සාහ කළද, තනි ලකුණු සීමා කළ ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකා පිතිකරුවන් අසහනයට ලක්කළහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලකුණු සොයා යද්දී, ධනුෂ්ක ගුණතිලකට සිය කඩුල්ල අහිමි විය. ලකුණු 18 ක් වෙනුවෙන් පන්දු 30 කට මුහණ දුන් වමත් ආරම්භක පිතිකරුවාගේ ඉනිමට ඇතුළත් වූයේ එකම හතරේ පහරකි.

සාමාන්‍යයෙන් නිදහසේ පිත්ත හරඹ කරන ධනුෂ්ක ගුණතිලක, තරමක් වේගයෙන් ලකුණු රැස්කරන්නෙකි. එහෙත් අද තරගය ආරම්භ වූ අවස්ථාවේ සිටම ධනංජයගේ පහර සියල්ලම පාහේ පාලනය කරගැනීමට වමතින් දඟ පන්දු යවන මැතිව් කුනේමන් සමත් වූයේය.

හම්බන්තොටදී පැවැත්වෙන සිව්දින තරගයට ක්‍රීඩා කරමින් සිටියදී, හදිසියේම පල්ලෙකැළේට කැඳවූ ක්‍රීඩකයන් දෙදෙනා අතර මැතිව් කුනේමන් සහ ට්‍රැවිස් හෙඩ් සිටියහ. කුනේමන් ඕවර 10 කදී ලකුණු 48 කට කඩුලු 2 ක් දවාගත් අතර උඩපන්දු දෙකක්ද රැකගතතේය. එහෙත් ට්‍රැවිස් හෙඩ් අතින් ධනංජය ද සිල්වාගේ පහසු උඩපන්දුවක් ගිළිහී ගියේය. ඒ වන විට ධනංජය ලබා සිටියේ ලකුණු 30 ක් වුවද, ඉන් මඳ වේලාවකට පසුව කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් ධනංජයගේ ඉනිම අවසන් විය.

ධනංජය ද සිල්වා (34) සහ කුසල් මෙන්ඩිස් (36) ඕස්ට්‍රේලියානු නායකයාගේ නළල රැළි නංවමින් සිටියදී ගුවනට පැන තනි අතින් උඩපන්දුව ඩැහැගත් කඩුලු රකින්නා තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 67 කින් නිමා කළේය. ධනංජයගේ ඉනිම නිමා වීමත් සමගින් නැවත වරක් ග්‍රහණය දැඩිකළ ඕස්ට්‍රේලියානුවෝ ඉතිරි ඕවර 4 දී ශ්‍රී ලංකා පිලට දුන්නේ ලකුණු 14 ක් පමණි.

පිට පිටම දෙවැනි දිනයේදීත් තම සුපුරුදු පහර කරා යමින් සිටි කුසල් මෙන්ඩිස්ට අද දිනයේ අවාසනාව හරස් වූයේය. කුසල්ගේ ප්‍රියතම පහරක් වන ස්ලොග් ස්වීප් පහරේ සියුම් පමාවක් හේතුවෙන් පිත්තේ වැදුණු පන්දුව, පා ආවරණයේ වැදී පන්දු යවන්නා වෙත ඇදී ගියේ උඩපන්දුවක් ලෙසිනි.

පෙරේදා එක්දින හිස්වැස්ම දිනාගත් දුනිත් වෙල්ලාලගේ, පළමු වරට පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේ අදය. සිය මංගල එක්දින ලකුණ ලබාගැනීම සඳහා පන්දු 8 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ඊළඟට මුහුණ දුන්නේ ග්ලෙන් මැක්ස්වෙල් යැවූ නොයිඳුල් ඕවරයකටය. එතැනින් පසුව අත දිගහැරි වෙල්ලාලගේ, මිචෙල් ස්වෙප්සන්ගේ ඕවරයකදී ලකුණු 13 ක් ලබාගත්තේ හයේ පහරක්ද සමගිනි.

පැයට කි.මී. 136 කට ආසන්න වේගයකින් පැමිණි පැට් කමින්ස්ගේ පන්දුවක් වෙල්ලාලගේගේ පිත්තේ වැදී කඩුල්ලට කඩා වැදීම නිසා තරුණයාගේ ඉනිම ලකුණු 20 කින් නිමා විය. එහෙත් ඔහු පන්දුවෙන් කළ කාර්යභාරය මෙන්ම, ඩීප් ස්ක්වෙයාර්ලෙග් හි සිට ඉදිරියට දිව එමින්, රැකගත් උඩපන්දුවද ශ්‍රී ලංකා ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් විය.

 


අදහස් (0)

පන්දු යවන්නෝ දිනුම ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.